1 සාමුවෙල් 4

4
1මෙසේ සාමුවෙල්ගේ වචනය සියලු ඉශ්‍රායෙල්වරුන් වෙත පැමිණියේ ය.
පිලිස්තිවරු ගිවිසුම් කරඬුව අත්පත් කර ගැනීම
මෙකල ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ට එරෙහිව යුද්ධ කරන්නට පිටත් වූහ. ඔවුහු එබෙන්-ඒසෙර්හි ද පිලිස්තිවරු අෆේක්හි ද කඳවුරු බැන්දහ. 2ඉශ්‍රායෙල්වරුන්ට මුහුණ දීමට පිලිස්තිවරු තම හමුදා පෙළ ගැස්වූහ. සටන පැතිර යද්දී, පිලිස්තිවරුන් අතින් ඉශ්‍රායෙල්වරු පරාජය ලදහ. ඔවුන්ගෙන් හාරදහසක් පමණ දෙනා යුද බිමේදී මරා දමන ලදහ. 3සෙබළු කඳවුරට ආපසු ආ කල, ඉශ්‍රායෙල් වැඩිහිටියෝ, “ස්වාමින්වහන්සේ අද පිලිස්තිවරුන් ඉදිරියේ අප පරාජය කළේ ඇයි? අප අතරට එන පිණිසත්, අපේ සතුරන් අතින් අප මුදා ගන්න පිණිසත් ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ෂීලෝහි සිට ගෙන්වා ගනිමු” යි කීහ.
4එබැවින් ජනයා ෂීලෝ වෙත මිනිසුන් පිටත් කළහ. කෙරුබ්වරුන් මධ්‍යයේ වැඩ හිඳින සේනාංකවල ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව, ඔවුහු ගෙන ආහ. ඒලීගේ පුතුන් දෙදෙනා වන හොෆ්නී හා පීනෙහාස් ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් කරඬුව සමඟ වූහ.
5 ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුර තුළට පැමිණි විගස, සියලු ඉශ්‍රායෙල්වරු කොතරම් ප්‍රබල හඬකින් කෑ මොර දුන්නෝ ද යත්, පොළොව දෝංකාර දුන්නේ ය. 6ඒ කෑ මොර නාදය ඇසූ පිලිස්තිවරු, “මොකක් ද ඒ හෙබ්‍රෙව්වන්ගේ කඳවුරෙන් ඇසෙන මහා ඝෝෂාව?” යි ඇසූහ.
ස්වාමින්වහන්සේගේ කරඬුව කඳවුරට පැමිණි වග දැනගත් 7පිලිස්තිවරු භය වූහ. “කඳවුරට දෙවි කෙනෙක් පැමිණ සිටී” යි ඔවුහු පවසන්නට වූහ. “අප අමාරුවේ වැටිලා! මෙවැනි දෙයක් මීට කලින් සිදු වී නෑ. 8අපට දුක් පැමිණේවි! මේ බලවත් දෙවිවරුන් අතින් අප ගලවා ගන්නේ කවුරුන් ද? පාළුකරයේදී ඊජිප්තුවට සියලු ආකාර විපත්තිවලින් පහර දුන් දෙවිවරුයි මේ. 9ධෛර්යවත් වනු! පුරුෂ ධෛර්යයෙන් සිටිනු! එම්බා පිලිස්තිවරුනි, නැතහොත්, ඔවුන් නුඹලාට යටත් ව සිටි සේ, හෙබ්‍රෙව්වන්ට යටත් වන්නට නුඹලාට සිදු වනු ඇත. පුරුෂ ධෛර්යයෙන් සටන් වදිනු” යි කීහ.
10එබැවින් පිලිස්තිවරු සටන් කළහ. ඉශ්‍රායෙල්වරු පරාජය ලැබ, හැම කෙනෙක් ම තම තමාගේ කූඩාරමට පලා ගියහ. සිදු වූ ඝාතනය අති මහත් ය. පාබළ සෙබළුන් තිස්දහසක් ඉශ්‍රායෙල්වරුනට අහිමි විය. 11දෙවියන්වහන්සේගේ කරඬුව ද අල්ලා ගනු ලැබිණ. ඒලීගේ පුතුන් දෙදෙනා වන හොෆ්නී සහ පීනෙහාස් මැරුම් කෑහ.
ඒලීගේ මරණය
12ඒ දවසේ ම බෙන්යමින් වංශිකයෙක් ඇඳුම් ඉරාගෙන, හිසෙහි දූලි දමාගෙන, සටන් බිමේ සිට ෂීලෝ වෙත දිව්වේ ය. 13ඔහු එහි ළඟා වන විට, ඒලී පාර අයිනට වී, තම පුටුවේ හිඳ, විමසිල්ලෙන් බලා සිටියේ ය. මන්ද දෙවියන්වහන්සේගේ කරඬුව ගැන ඔහුගේ හද තැති ගෙන තිබිණි. ඒ මිනිසා නගරයට පිවිස, සිදුව ඇති දෑ පැවසූ කල, මුළු නගරය ම හඬා වැටිණ.
14එම කෑ මොර දීම සවන් වැකුණු ඒලී, “මොකක් ද මේ ගාලගෝට්ටිය!” යි ඇසී ය.
ඒ මිනිසා වහ වහා ඒලී වෙත ගොස්, පැවසී ය. 15අවුරුදු අනූ අටක් වයස් ව, දෑස් අන්ධ ව සිටි ඒලී දෑස් දල්වාගෙන සිටියේ ය. 16ඔහු ඒලී අමතමින්, “මේ දැන් මා ආවේ සටන් බිමේ සිටයි. මා එතැනින් පලා ආවේ අද දවසේ ම යැ” යි කීවේ ය.
“මොනවද එහි සිදු වුණේ මා පුත?” යි ඒලී විමසී ය.
17ආරංචි ගෙනා මිනිසා පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්වරු පිලිස්තීන් වෙතින් පලා ගියා. අපේ හමුදාවට බරපතළ අලාභ විඳින්නට සිදු වුණා. ඔබේ පුතුන් දෙදෙනා වන හොෆ්නී හා පීනෙහාස් මළා. දෙවියන්වහන්සේගේ කරඬුව ද අල්ලාගෙන ගියා” යි කීවේ ය.
18දෙවියන්වහන්සේගේ කරඬුව ගැන ඔහු සඳහන් කරත් ම, ඒලී, දොරටුව පසෙක හිඳ සිටි අසුනින් පිටුපස්සට ඇද වැටිණි. ඔහුගේ බෙල්ල කැඩිණි. ඔහු මළේ ය. මන්ද ඔහු මහලු, තරබාරු මිනිසකු ව සිටියේ ය. ඔහු හතළිස් වසරක් ඉශ්‍රායෙල් විනිශ්චය කොට තිබුණි.
19ඔහුගේ ලේළිය, පීනෙහාස්ගේ බිරිඳ, ගැබ් ගෙන, දරු ප්‍රසූතියට ළං ව සිටියා ය. දෙවියන්වහන්සේගේ කරඬුව අල්ලා ගනු ලැබූ වගත්, ඇගේ මාමණ්ඩිය හා ඇගේ සැමියා මිය ගිය වගත් ඇසූ ඈ නැමී, දරුවකු බිහි කළා ය. ඇගේ ප්‍රසව වේදනා ඇයට දැරිය නො හැකි තරම් විණ. 20ඇයට උපස්ථාන කළ ස්ත්‍රීහු ඇය මැරෙන මොහොතේ ඇය අමතමින්, “භය වන්න එපා. ඔබ පුතකු බිහි කර ඇතැ” යි කීහ. එහෙත් ඈ ඊට පිළිතුරු දුන්නේ නැත. ඒ ගැන ගණන් ගත්තේ ද නැත.
21“ඉශ්‍රායෙල් වෙතින් තේජස බැහැර විය” යයි පවසමින් ඈ, දරුවාට ඊකාබොද් යයි නම් තැබුවා ය. මන්ද දෙවියන්වහන්සේගේ කරඬුව අල්ලා ගනු ලැබීමත්, ඇගේ මාමණ්ඩියගේ හා ඇගේ සැමියාගේ වියෝවත් නිසා, 22“දෙවියන්වහන්සේගේ කරඬුව හසු වී ඇති බැවින්, ඉශ්‍රායෙලය වෙතින් තේජස පහව ගොස් ඇතැ” යි ඈ කීවා ය.

موجودہ انتخاب:

1 සාමුවෙල් 4: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in