1 සාමුවෙල් 3
3
ස්වාමින්වහන්සේ සාමුවෙල් කැඳවීම
1යොවුන් සාමුවෙල්, ඒලී යටතෙහි ස්වාමින්වහන්සේට මෙහෙ කළේ ය. එදවස්හි ස්වාමින්වහන්සේගේ වචනය දුර්ලභ විය. දේව දර්ශන ද බහුල නො වී ය.
2මේ වන විට ඇස් නො පෙනෙන තරමට ඇස්වල පෙනීම දුර්වල වී සිටි ඒලී, තමන් සුපුරුදු තැන සැතපී හුන්නේ ය. 3දෙවියන්වහන්සේගේ පහන, තවමත් නො නිවී තිබිණ. දෙවියන්වහන්සේගේ කරඬුව තිබූ ස්වාමින්වහන්සේගේ මාලිගයේ සාමුවෙල් සැතපී සිටියේ ය. 4එවිට ස්වාමින්වහන්සේ සාමුවෙල්ට හඬ ගැසූ සේක.
“මම මෙහේ” යි පිළිතුරු දුන් සාමුවෙල්, 5ඒලී වෙත දුවගෙන ගොස්, “මෙන්න මම; ඔබ මට හඬ ගැසුවා” යි කීවේ ය.
එහෙත් ඒලී පිළිතුරු දෙමින්, “මා හඬ ගැසුවේ නෑ. ආපසු නිදා ගන්නැ” යි කීවේ ය. එබැවින් ඔහු ආපසු ගොස්, නිදා ගත්තේ ය.
6 ස්වාමින්වහන්සේ යළිත් වරක්, “සාමුවෙල්” කියා හඬ ගැසූ සේක. සාමුවෙල් නැගිට, ඒලී වෙත ගොස්, “මෙන්න මම; ඔබ මට කතා කළා” යි කීවේ ය.
ඒලී පිළිතුරු දෙමින්, “මා කතා කළේ නෑ මා පුත. ආපසු නිදා ගන්නැ” යි කීවේ ය.
7සාමුවෙල් ඒ වන විටත් ස්වාමින්වහන්සේ හැඳින සිටියේ නැත. ස්වාමින්වහන්සේගේ වචනය ඒ වන තුරුත් ඔහුට එළිදරවු කර නො තිබිණ.
8 ස්වාමින්වහන්සේ තුන් වන වරට සාමුවෙල්ට යළි හඬ ගැසූ සේක. සාමුවෙල් නැගිට, ඒලී වෙත ගොස්, “මෙන්න මම, ඔබ මට හඬ ගැසුවා” යි කීවේ ය.
එවිට, ස්වාමින්වහන්සේ ළමයාට හඬ ගසන වග ඒලී වටහා ගත්තේ ය. 9එබැවින් සාමුවෙල් ඇමතූ ඒලී, “ගොසින් නිදා ගන්න. උන්වහන්සේ ඔබට කතා කළොත්, ‘කතා කරනු මැන, ස්වාමින්වහන්ස, ඔබගේ සේවකයා අසා සිටීය’ කියා කියන්නැ” යි කීවේ ය. එබැවින් සාමුවෙල් ගොස්, තමාගේ ස්ථානයේ නිදා ගත්තේ ය.
10එවිට ස්වාමින්වහන්සේ අවුත්, එහි සිට, පෙර වතාවලදී මෙන්, “සාමුවෙල්! සාමුවෙල්!” යැයි හඬ ගැසූ සේක.
එවිට සාමුවෙල්, “කතා කළ මැනවි. ඔබේ සේවකයා අසා සිටින්නේ යැ” යි පැවසී ය.
11 ස්වාමින්වහන්සේ සාමුවෙල් ඇමතූ සේක්, “මෙන්න! ඒ ගැන අසන හැම කෙනකුගේ ම කන් පුපුරු ගස්වන දෙයක් මම ඉශ්රායෙල්හි කරන්නට යන්නෙමි. 12ඒලීගේ වංශයට එරෙහිව මා පවසා ඇති හැම දෙයක් ම, මුල පටන් අග දක්වා ඔහුට එරෙහිව ක්රියා කරන්නෙමි. 13ඔහුත් දැන සිටි පාපය නිසා, සදහට ම ඔහුගේ පෙළපතට මා දඬුවම් කරන වග මම ඔහුට කියා ඇත්තෙමි. මන්ද ඔහුගේ පුත්තු, තුමූම නීච භාවයට පත් වන අතර ඔහු ඔවුන් වළක්වා ගත්තේ නැත. 14එබැවින් ඒලීගේ වංශයේ අපරාධය, යාග පූජාවකින් හෝ පඬුරු පූජාවකින් කිසි කල පාප වන්දි නිවාරණයක් කළ නො හැකි වගට ඒලීගේ වංශයට මම දිවුරමි” යි පැවසූ සේක.
15සාමුවෙල්, පහන් වන තුරු වැතිරී සිට, ඉන්පසු ස්වාමින්වහන්සේගේ ගෘහයේ දොරවල් විවර කළේ ය. දර්ශනය ඒලීට පවසන්නට ඔහු භය විය. 16එහෙත් ඒලී, “මා පුත සාමුවෙල්” යැයි ඔහුට හඬ ගැසී ය.
“මම මෙහේ” යි ඔහු උත්තර දුන්නේ ය.
17“උන්වහන්සේ ඔබට කීවේ මොනවා දැ?” යි විමසූ ඒලී, “මගෙන් එය සඟවන්න එපා. උන්වහන්සේ ඔබට කී මුළු පණිවුඩයෙන් යම් දෙයක් ඔබ මගෙන් සැඟවුවහොත්, දෙවියන්වහන්සේ ඊටත් වඩා ඉතා දැඩි ලෙස ඔබට කරන සේක්වා” යි කීවේ ය. 18එබැවින් සාමුවෙල් කිසිවක් නො සඟවා හැම වචනයක් ම ඔහුට කීවේ ය. එවිට ඒලී, “උන්වහන්සේ ස්වාමින්වහන්සේ ය. උන්වහන්සේට හොඳයයි පෙනෙන දේ උන්වහන්සේ කළා වේ” යි කීවේ ය.
19සාමුවෙල් වැඩෙන අතරේ ස්වාමින්වහන්සේ ඔහු සමඟ සිටි සේක්, ඔහුගේ වචනවලින් එකකුදු නිෂ්ඵල වන්නට ඉඩ නුදුන් සේක. 20ස්වාමින්වහන්සේගේ දිවැසිවරයකු වශයෙන් සාමුවෙල් ස්ථිර කරනු ලැබ ඇති වග, දාන් පටන් බෙයර්ෂෙබා දක්වා වූ සියලු ඉශ්රායෙල්වරු දැන ගත්හ. 21ස්වාමින්වහන්සේ යළිත් ෂීලෝහි දී පෙනුණු සේක. ස්වකීය වචනය මගින් ස්වාමින්වහන්සේ ෂීලෝහි දී සාමුවෙල්ට තමා එළිදරවු කළ සේක.
موجودہ انتخاب:
1 සාමුවෙල් 3: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.