ශු. මතෙව් 5:3-16

ශු. මතෙව් 5:3-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ආත්මයෙන් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. ශෝකවන්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු සනසනු ලබන්නෝ ය. මෘදු ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු පොළොව උරුම කර ගන්නෝ ය. ධර්මිෂ්ඨකමට සා-පිපාස ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු සෑහීමට පත් වන්නෝ ය. දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දයාව ලබන්නෝ ය. හදින් පවිත්‍ර ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දෙවියන්වහන්සේ දකින්නෝ ය. සාමය සලසන්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය කියනු ලබන්නෝ ය. ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. “මා නිසා, අන්‍යයන් ඔබට ගැරහුම් කරන කල, පීඩා කරන කල, හැම අයුරක ම නපුර පවරා, ඔබට එරෙහිව අසත්‍ය පවසන කල ඔබ භාග්‍යවත් ය. ප්‍රීති වන්න; ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. ඔබට කලින් සිටි දිවැසිවරුනට ඔවුන් පීඩා කළේ එලෙස ම ය. “ඔබ පොළොවේ ලුණු ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද? පිටත දමා, මිනිසුන්ගේ පයට පෑගෙන්නට හැර දැමීම මිස, තවත් එයින් ගත හැකි වැඩක් නැත. “ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නො හැක. කිසිවකු පහනක් දල්වා, එය බඳුනකින් වසන්නේ නැත; කරන්නේ පහන් රුකක් මත තැබීම ය; එවිට නිවසේ හැම කෙනකුට ම එය එළිය දෙයි. එලෙස ම අන්‍යයන් ඔබගේ සද් ක්‍රියා දැක, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේට මහිමය දෙන පිණිස, ඔවුන් ඉදිරියේ ඔබේ එළිය බබළවන්න.

ශු. මතෙව් 5:3-16 Sinhala Revised Old Version (SROV)

සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය. මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය. ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය. දයාවන්තයෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දයාව ලබන්නෝය. සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය. සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය. ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය. ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය. නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය. නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය. මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.

ශු. මතෙව් 5:3-16 Sinhala New Revised Version (NRSV)

“බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු සැනසීම ලබන්නෝ ය. නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය. යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු තෘප්තිමත් වන්නෝ ය; දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දයාව ලබන්නෝ ය. නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය; මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය; ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.” “ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත. “ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය. මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”

ශු. මතෙව් 5:3-16 Sinhala New Revised Version 2018 (SNRV)

“සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු සැනසීම ලබන්නෝ ය. මොළොක් ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය. ධර්මිෂ්ඨකම උදෙසා සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු තෘප්තිමත් වන්නෝ ය; දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දයාව ලබන්නෝ ය. නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය. ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය; මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය; ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.” “ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත. “ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය. මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”

ශු. මතෙව් 5:3-16

ශු. මතෙව් 5:3-16 SROV