ශුද්ධවර මතෙව් 5:3-16

ශුද්ධවර මතෙව් 5:3-16 SNRV

“සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු සැනසීම ලබන්නෝ ය. මොළොක් ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය. ධර්මිෂ්ඨකම උදෙසා සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු තෘප්තිමත් වන්නෝ ය; දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දයාව ලබන්නෝ ය. නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය. ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය; මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය; ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.” “ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත. “ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය. මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”