ශු. මතෙව් 5:3-16

ශු. මතෙව් 5:3-16 SROV

සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය. මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය. ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය. දයාවන්තයෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දයාව ලබන්නෝය. සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය. සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය. ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය. ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය. නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය. නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය. මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.