ශු. මතෙව් 5:3-16

“ආත්මයෙන් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. ශෝකවන්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු සනසනු ලබන්නෝ ය. මෘදු ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු පොළොව උරුම කර ගන්නෝ ය. ධර්මිෂ්ඨකමට සා-පිපාස ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු සෑහීමට පත් වන්නෝ ය. දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දයාව ලබන්නෝ ය. හදින් පවිත්‍ර ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දෙවියන්වහන්සේ දකින්නෝ ය. සාමය සලසන්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය කියනු ලබන්නෝ ය. ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. “මා නිසා, අන්‍යයන් ඔබට ගැරහුම් කරන කල, පීඩා කරන කල, හැම අයුරක ම නපුර පවරා, ඔබට එරෙහිව අසත්‍ය පවසන කල ඔබ භාග්‍යවත් ය. ප්‍රීති වන්න; ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. ඔබට කලින් සිටි දිවැසිවරුනට ඔවුන් පීඩා කළේ එලෙස ම ය. “ඔබ පොළොවේ ලුණු ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද? පිටත දමා, මිනිසුන්ගේ පයට පෑගෙන්නට හැර දැමීම මිස, තවත් එයින් ගත හැකි වැඩක් නැත. “ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නො හැක. කිසිවකු පහනක් දල්වා, එය බඳුනකින් වසන්නේ නැත; කරන්නේ පහන් රුකක් මත තැබීම ය; එවිට නිවසේ හැම කෙනකුට ම එය එළිය දෙයි. එලෙස ම අන්‍යයන් ඔබගේ සද් ක්‍රියා දැක, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේට මහිමය දෙන පිණිස, ඔවුන් ඉදිරියේ ඔබේ එළිය බබළවන්න.
මතෙව් 5:3-16