හිතෝපදේශ 31

31
ලෙමුවෙල් රජුගේ කියමන්
1ලෙමුවෙල් රජුගේ කියමන්, ඔහුගේ මව විසින් ඔහුට උගන්වනු ලැබූ දිව්‍ය ප්‍රකාශනයකි.
2අහෝ මගේ පුත්‍රය, අහෝ මගේ ගර්භයේ පුත්‍රය,
අහෝ මගේ බාර-හාරවල පුත්‍රය,
3නුඹේ කාය ශක්තිය ස්ත්‍රීන්ට වැය නො කරන්න;
නුඹේ දිවි සම්පත රජුන් නාස්ති කරන්නියනට නො දෙන්න.
4මිදි යුෂ පානය රජුන්ට හොඳ නැත,
මත්පැන් ලෝලය පාලකයින්ට හරි නැත;
එම්බා ලෙමුවෙල්, ඒවා රජුන් උදෙසා නො වේ.
5මත් වී, නීති නියෝග අමතක නො කරන පිණිසත්,
පීඩිතයින්ගේ අයිතීන් පැහැර නොහරින පිණිසත්, රජුන් මත්පැනින් වැළකුණා වේ!
6විනාශ වන්නන්ට මත්පැන් දෙන්න;
සෝ සන්තාප ඇතියවුන්ට මිදි යුෂ දෙන්න.
7ඔවුන් බී, මත් ව, තම දුගී භාවය අමතක කළා වේ;
තම දුක්ඛිතභාවය මතක නැති කළා වේ.
8තමන් උදෙසා කරුණු කියන්නට බැරි අය වෙනුවෙන් කතා කරන්න;
අනාථ අසරණයින්ගේ අයිතීන් උදෙසා කතා කරන්න.
9ඔවුන් වෙනුවෙන් කතා කොට, සාධාරණ ව විනිශ්චය කරන්න;
දුගී-දුප්පතුන්ගේ, නැති-බැරිවුන්ගේ අයිතීන් රැක දෙන්න.
ගුණවත් කාන්තාව
10ගුණ යහපත් බිරිඳක් සොයාගත හැක්කේ කවරකුට ද?
ඇගේ වටිනාකම රතු කැටවලටත් වඩා වැඩි ය.
11ඇගේ සැමියා ඇය ගැන සම්පූර්ණ විශ්වාසය තබයි;
ලාභ ප්‍රයෝජනවලින් ඔහුට කිසි අඩුවක් නො වේ.
12ජීවිත කාලය පුරා ඈ ඔහුට සෙත සලසන්නී,
කිසි අනර්ථයක් නො කරන්නී ය.
13ඈ මැහුමට, ගෙතුමට අවැසි දෑ ගෙන, ලොම් හා හණ සපයා ගෙන
උනන්දුවෙන් අත්කම්වල යෙදෙන්නී ය.
14ඈ වෙළඳ නැවක් වැනි ය;
ඈ තම ආහාර ද්‍රව්‍ය දුර-බැහැරින් ගෙන්වා ගන්නී ය.
15අරුණෝදයටත් පෙර පිබිදෙන ඈ,
තම පවුලේ උදවියට අහර සකසන්නී ය;
තම සේවිකාවනට වැඩ පවරන්නී ය.
16ඈ ඉඩමක් ගැන සොයා බලා, එය මිලයට ගන්නී,
ඇය ඉපැයූ දෙයින් මිදි වත්තක් වවන්නී ය.
17ඈ ධෛර්යය සම්පන්න ව වැඩෙහි යෙදෙන්නී,
කරන වැඩට සරිලන සේ දෑත හුරුකර ගන්නී ය.
18තම ව්‍යාපාර ලාභදායි වග ඈ දකින්නී ය;
ඇගේ පහන රෑ පුරාවට නො නිවේ.
19ඇගේ දෑත රෙදි විවීමෙහි ද
ඇගේ අතැඟිලි නූල් කැටීමෙහි ද යෙදෙයි.
20නො මසුරු ව දිළිඳුන්ට දෙන ඈ,
නැති බැරි අයට අනුග්‍රහ දක්වන්නී ය.
21හිම වැටෙන ශීත කාලයට තම පවුල ගැන බයක් ඇයට නැත;
මන්ද ඒ හැමට උණුසුම් ඇඳුම් සූදානම් ව ඇත.
22ඈ තම ඇඳ-ඇතිරිලි නිමවා ගන්නී ය;
ඈ සිනිඳු හණ පිළියෙන් හා රාජ වර්ණිත ඇඳුමින් සැරසී සිටින්නී ය.
23ඇගේ සැමියා දේශයේ ප්‍රජා මූලිකයින් සමඟ
පුර-ප්‍රජා පොළේ හිඳ ගන්නා කල, පිළිගනු ලබයි.
24ඈ හණ සළු පිළි වියා අලෙවි කරන්නී,
වෙළඳුන්ට බඳ පටි, සපයන්නී ය.
25ශක්තියෙන් ද ගෞරවයෙන් ද සැරසී සිටින ඇයට
මතු පැමිණෙන දවස් ඉදිරියේ සිනාසීමට පුළුවන.
26ඈ ප්‍රඥාවෙන් යුක්ත ව කතා කරන්නී,
තම දිවෙන් විශ්වසනීය උපදෙස් දෙන්නී ය.
27ඈ ගෙදර පවුලේ කටයුතු ගැන සොයා බලන්නී,
අලසකමින් කල් ගත නො කරන්නී ය.
28ඇගේ දරුවෝ නැගී සිට ඇයට ආශිර්වාද කරති;
ඇගේ සැමියා ද ඇගේ ගුණ වණමින්,
29“බොහෝ කාන්තාවෝ ගුණ යහපත් දේ කරන්නෝ ය;
එහෙත් ඔබ ඒ හැමට වඩා උදාර යැ” යි පවසයි.
30රූ සිරිය රැවටිලිකාර ය, ලස්සන නැති වී යයි;
එහෙත් ස්වාමින්වහන්සේට භය පක්ෂපාත කාන්තාව පැසසුම් ලබන්නී ය.
31ඇගේ වෙහෙසට සරිලන ඉටු විපාක ඇයට දෙන්න;
ඇගේ ඒ වැඩ කටයුතු ගැන පුර-ප්‍රජා පොළේදී ඇය පැසසුම් ලබාවා!

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 31: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න