යෙසායා 5

5
මිදි වත්තේ ගීය
1මගේ පෙම්වතා උදෙසා මම ගායනා කරන්නම්;
ඔහුගේ මිදි වත්ත ගැන මගේ පෙම් ගීය:
සරු සාර කඳු ගැටයක
මිදි වත්තක් මගේ පෙම්වතාට තිබිණ.
2ඔහු බිම කොටා, ගල්-බොරලු ඉවත ලා,
අනගි මිදි වැල් එහි ඉන්දුවේ ය.
මුර ටැඹක් ද ඒ මැද ඉදි කළ ඔහු,
මිදි මෝලක් ද එහි සැකසී ය.
මෙසේ, හොඳ මිදි එයින් උපද්දතැයි ඔහු බලා සිටියත්,
එහි හට ගත්තේ වල් මිදි පමණි.
3“එබැවින් දැන්, එම්බා යෙරුසලම් වාසීනි, යූදා මිනිසුනි,
මා හා මගේ මිදි වත්ත අතරේ විනිශ්චය කරන්න.
4මගේ මිදි වත්ත උදෙසා මා කළ දෑට වඩා,
අන් කවරක් කළ හැකි ව තිබුණේ ද?
හොඳ මිදි පල හට ගැන්වෙනු මා බලා සිටි නමුදු,
වල් මිදි පලගත්තේ මන්ද?
5මගේ මිදි වත්තට මා කුමක් කරන්නේදැයි
දැන් මම ඔබට කියමි:
මම එහි වැට ඉවත් කරන්නෙමි.
එවිට එය නැති නාස්ති වී යනු ඇත.
මම එහි තාප්පය බිඳ දමන්නෙමි.
එවිට එය පාගා දැමෙනු ඇත.
6මම එය පාළුවට හරින්නෙමි.
මා එහි අතු පාහින්නේවත්, පස බුරුල් කරන්නේවත් නැත.
එහි හට ගැනෙනු ඇත්තේ, වල් පැළ හා කටු ය;
ඒ පිට වැසි නො වසින ලෙස
මම වලාකුළුවලට අණ කරන්නෙමි.”
7මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේගේ
මිදි වත්ත ඉශ්‍රායෙල් වංශයයි.
උන්වහන්සේගේ සොම්නස් රෝපණ ශාකය යූදා ජනතාවයි.
උන්වහන්සේ බලා සිටියේ යුක්තියයි.
අහෝ! එහෙත් දක්නට ලැබුණේ ලේ හැලීමයි;
බලා සිටියේ දමිටුකමයි. අහෝ! එහෙත් අසන්නට ලැබුණේ හඬා-වැටීමයි.
දුක් පැමිණේ
8දේශය මධ්‍යයේ තමන්ට පමණක් ජීවත් වන ලෙසට,
අන් කෙනකුට ඉඩක් නැති වන තරමට
ගෙයකට ගෙයක් ඈඳා ගන්නා,
ඉඩමකට ඉඩමක් එක් කර ගන්නා අයට දුක් වේ.
9සේනාංකවල ස්වාමින්වහන්සේ මා අසා සිටියදී මෙසේ දිවුළ සේක:
“සත්තකින් ම බොහෝ නිවෙස්, පාළුවට යයි.
සුවිසල්, අලංකාර මන්දිර වාසයෙන් තොර වනු ඇත.
10අක්කර දහයක මිදිවත්තකින් නිපදවෙන්නේ, මිදි යුෂ බාත් එකකි#5:10 එනම් ලීටර් 22ක් පමණ..
බීජ හෝමෙරයකින් ලැබෙනු ඇත්තේ, ධාන්‍ය එක් ඒෆාවක්#5:10 එනම් කිලෝග්‍රෑම් 16ක් පමණ. පමණි.”
11මත්පැන් වඩියක් හඹා යෑමට,
හිමිදිරි උදයෙන් නැගිටින,
මිදි යුෂ මතින් ඇවිළෙමින්,
වෙරි මර ගාතේ රෑ බෝ වන තුරු පසු වන අයට දුක් වේ!
12ඔවුන්ගේ සාදවල වීණා හා මහ වීණා ද
රබන් හා බටනළා ද මිදි යුෂ ද ඇත.
එහෙත් ස්වාමින්වහන්සේගේ ක්‍රියා ගැන සැලකිල්ලක් ඔවුනට නැත.
උන්වහන්සේගේ අත්වලින් කළ වැඩ ගැන දැක්මක් ඔවුන් තුළ නැත.
13එබැවින්, වැටහීම මද බැවින්,
මගේ ජනයා වහල්කමට යනු ඇත.
ඔවුන්ගේ උසස් නිල දරන්නන්, කුස ගින්නෙන් මියෙනු ඇත.
ඔවුන්ගේ පොදු ජනයා, පිපාසයෙන් වේලෙනු ඇත.
14එබැවින් මිනී වළ, එහි ගිරිය පුළුල් කර,
පමණ ඉක්මවා කට ඇරගත් ගමන් ය.
ඔවුන්ගේ වංශවතුන් මෙන් ම පොදු ජනයා ද
ඔවුන්ගේ කලහකාරීන් හා ප්‍රියසාදකරුවන් ද එහි, පල්ලම් බසිනු ඇත.
15එබැවින්, මිනිසා පහත් කරනු ලැබේ.
හැම කෙනෙක් ම යටත් කරනු ලැබේ.
උඩඟු ඇස් ඇත්තවුන් යටත් කරනු ලැබේ.
16එහෙත්, සේනාංකවල ස්වාමින්වහන්සේ යුක්තිය මගින් උසස් කෙරේ.
ශුද්ධ වූ දෙවියන්වහන්සේ, තමන්වහන්සේ ශුද්ධවත් වග තම ධර්මිෂ්ඨ ක්‍රියා මගින් පෙන්වන සේක.
17එකල බැටළු පැටවුන් තමන්ගේ ම තණ පිටිවල මෙන් තණ බුදිනු ඇත;
ධනවතුන්ගේ පාළු-නටබුන් අතරේ බැටළුවන් අහර ලබනු ඇත.
18වංචාවේ රැහැන්වලින් අයුතුකමත්,
ගැල් කඹවලින් මෙන් පාපයත් අදින අයට දුක් වේ.
19“අපට එය දැක බලා ගත හැකි වන පිණිස උන්වහන්සේ ඉක්මන් කළා වේ.
උන්වහන්සේගේ වැඩ කඩිනම් කළා වේ.
අපට එය දැනගත හැකි වන පිණිස
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේගේ සැලැස්ම
ළඟා වන්නට ඉඩ හරින්න”
කියන අයට දුක් වේ.
20නපුර, යහපත ය කියා ද
යහපත, නපුර ය කියා ද
එළිය වෙනුවට අඳුර තබන,
අඳුර වෙනුවට එළිය තබන,
මිහිර වෙනුවට තිත්ත තබන,
තිත්ත වෙනුවට මිහිර තබන අයට දුක් වේ.
21තමන්ගේ ම ඇස්වලට තමන් ප්‍රඥාවත් ය,
තමන්ගේ ම දැක්මට තමන් විචක්ෂණශීලී ය කියා කියාගන්නන්ට දුක් වේ.
22මිදි යුෂ බීමට වීරයින් වන,
මත්පැන් මිශ්‍රණයට ශූරයින් වන අයට,
23අල්ලසක් ගෙන, වරදකරුවන් නිදහස් කරන,
නිවැරදිකරුවන්ගේ අයිතිය පැහැර හරින අයට දුක් වේ.
24එබැවින්, ගිනි දැල්ල, ඉපනැල්ල ගිල දමන්නා සේ,
වියළි තෘණ, ගිනි දැල් තුළ කිඳී යන්නා සේ
ඔවුන්ගේ මුල් දිරා ජරාවට යනු ඇත.
ඔවුන්ගේ මල්, දූවිලි සේ ගසා ගෙන යනු ඇත.
මන්ද ඔවුන් සේනාංකවල ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව ඉවත ලූ බැවිනි;
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේගේ වචනය හෙළා දුටු බැවිනි.
25එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය, උන්වහන්සේගේ ජනයාට එරෙහිව ඇවිළෙයි.
ඔවුන්ට එරෙහිව අත දිගු කොට, උන්වහන්සේ ඔවුන්ට පහර දෙන සේක.
කඳු කම්පනය වෙයි.
ඔවුන්ගේ මළමිනි, වීදිවල කුණු-කසල මෙන් වන්නේ ය.
එහෙත්, මේ සියල්ල සිදුවීත්, උන්වහන්සේගේ කෝපය පහව ගොස් නැත.
උන්වහන්සේගේ හස්තය, තවමත් එසැවුණු ගමන් ය.
26දුරස්ථ ජාතීන් සඳහා උන්වහන්සේ සංඥාවක් ඔසවා,
පොළෝ කෙළවර සිට ඔවුන්ට සියුරු හඬින් සංඥා කරන සේක.
මෙන්න! ඔවුහු
කඩිනමින් ද වේගයෙන් ද එන්නෝ ය.
27ඔවුන්ගේ එකකුවත් විඩාබරවන්නේ නැත. ඔවුන්ගේ එකකුවත් පැකිළෙන්නේ නැත.
ඒ එකකු හෝ නිදි බර වන්නේවත්, නිදාගන්නේවත් නැත.
ඔවුන්ගේ ඉඟ පටියකුදු බුරුල් වන්නේ නැත.
පාවහන් පටියකුදු කැඩෙන්නේ නැත.
28ඔවුන්ගේ ඊතල, තියුණු ය.
ඔවුන්ගේ දුනු, එල්ලය ගෙන තියේ.
ඔවුන්ගේ අශ්ව-කුර, ගිනි-ගල් මෙනි.
ඔවුන්ගේ යුද්ධ රථ රෝද, සුළි සුළං වැන්න.
29ඔවුන්ගේ ගර්ජනය, සිංහයකුගේ වැනි ය.
තරුණ සිංහයින් මෙන් ඔවුහු ගර්ජනා කරති.
ඔවුන් ගොරවමින්, ගොදුර ඩැහැගෙන,
එය ඇදගෙන යන්නේ, කිසිවකුටත් මුදා ගත නො හැකි පරිද්දෙනි.
30ඒ දවසේ ඔවුන් ඊට ගොරවනු ඇත්තේ,
මහ මුහුදේ ඝෝෂාව පරිද්දෙනි.
යමෙක් දේශය දෙස බැලුවහොත්,
ඔන්න ඇත්තේ, අඳුරත්, විපතත් ය.
එළිය පවා වලාවලින් අඳුරු වනු ඇත.

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 5: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න