යෙසායා 3

3
යෙරුසලමේ විනිශ්චය
1මන්ද මෙන්න! ස්වාමින්වහන්සේ,
සේනාංකවල ස්වාමින්වහන්සේ,
යෙරුසලමෙන් ද යූදා දේශයෙන් ද සැපයුමත්,
උපකාරයත් ඉවත් කරන්නට සැරසෙන සේක.
මුළු ආහාර සැපයුම හා මුළු ජල සැපයුම ද
2වීරයා හා රණශූරයා ද
විනිසුරුවා හා දිවැසිවරයා ද
පේන කියන්නා හා වැඩිමහල්ලා ද
3පනහකට සෙන්පතියා හා උසස් නිලධාරියා ද
උපදේශකයා, නිපුණ ශිල්පියා හා දක්ෂ ඉන්ද්‍රජාලිකයා ද ඉවත් කරන සේක.
4කොලු ගැටවුන්, මම ඔවුන්ගේ අධිපතීන් කරන්නෙමි.
ළාබාල දරුවන්, ඔවුන් පාලනය කරනු ඇත.
5හැම කෙනෙක් අනිකාට ද
හැම කෙනෙක් තම අසල්වැසියාට ද
බාලයා, වැඩිහිටියාට ද දීනයා, උත්තමයාට ද
අහංකාර ලෙස කටයුතු කරනු ඇත.
6කෙනෙක් තම පියවංශයේ
තම සහෝදරයකු අල්ලාගෙන,
“ඔබට දිගු කබායක් ඇත. ඔබ අපේ නායකයා වන්න.
මේ සුන්බුන් ගොඩේ පාලනය ද ගන්නැ” යි කියයි.
7එහෙත් ඒ දවසේ ඔහු මොර දෙමින්,
“මා වෙදෙක් නො වෙයි.
මගේ නිවසේ රොටීවත්, දිගු කබායක්වත් නැත.
ජනයාගේ නායකයා කොට මා පත් නො කරන්නැ” යි කියනු ඇත.
8මන්ද යෙරුසලම පැකිළ ඇත.
යූදා වැටී ඇත.
මන්ද උන්වහන්සේගේ තේජසේ දෑස් කුපිත කරලීමට,
ඔවුන්ගේ වචන හා ඔවුන්ගේ ක්‍රියා ස්වාමින්වහන්සේට එරෙහිව ඇත.
9ඔවුන්ගේ මුහුණුවල පෙනුම, ඔවුන්ට එරෙහිව සාක්ෂි දරයි.
සොදොම මෙන් ඔවුහු තම පාප විදහා පෙන්වති;
ඔවුහු ඒවා නො සඟවති.
ඔවුනට දුක් වේ!
ඔවුන් තමන් පිටට ම විපත්තිය පමුණුවාගෙන ඇත.
10ශුභ සිද්ධ වෙතැයි ධර්මිෂ්ඨයිනට කියන්න.
මන්ද ඔවුන් තම ක්‍රියාවල පල භුක්ති විඳිනු ඇත.
11දුෂ්ටයින්ට දුක් වේ!
නපුර ඔවුන් පිට ය!
මන්ද ඔවුන්ගේ අත්වලින් කළ දෑ පරිදි,
ඔවුන්ට ආපිට පල දෙනු ඇත.
12මගේ ජනයාට පීඩා කරන්නේ දරුවන් ය.
ඔවුන් ආණ්ඩු කරන්නේ ස්ත්‍රීන් ය.
අහෝ මගේ ජනයිනි, නුඹලාගේ මග පෙන්වන්නෝ නුඹලා මංමුළා කළෝ,
නුඹලාගේ ගමන් මගින් ඉවතට නුඹලා හැරෙවුවෝ ය.
13කරුණු දක්වන්නට ස්වාමින්වහන්සේ නැගුටුණු සේක.
ජනයා විනිශ්චයට උන්වහන්සේ නැගිට සිටින සේක.
14 ස්වාමින්වහන්සේ තම ජනයාගේ වැඩිහිටියනට හා අධිපතීනට එරෙහිව
විනිශ්චයට පිවිසෙන සේක.
“මගේ මිදි වත්ත නැති නාස්ති කළෝ නුඹලා ය.
දුප්පතුන්ගෙන් කොල්ල කෑ දෑ, නුඹලාගේ නිවෙස්වල ය.
15මගේ ජනයා මිරිකා, පොඩිකර දැමීමෙන්,
දුගී ජනයාගේ මුහුණු තලා-අඹරා දැමීමෙන්,
නුඹලා කුමක් අදහස් කරත් දැ?” යි ස්වාමින්වහන්සේ,
සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
16 ස්වාමින්වහන්සේ කතා කළ සේක්,
“සියොන් දූවරුන් අහංකාරීන් නිසා
ඔවුන් ගෙල දිගු කර ගෙන, ඇවිදිමින්,
තම ඇස්වලින් සරාගී බැලුම් හෙළමින්,
දෙපා කිකිණි හඬවමින්,
නිතඹ සලමින් අහංකාර ව පියවර තබන නිසා,
17සියොන් දියණියන්ගේ හිස් මත ස්වාමින්වහන්සේ හොරි හටගන්වන සේක.
ස්වාමින්වහන්සේ ඔවුන්ගේ රහස් පෙදෙස් නග්න කරන සේක.”
18ඒ දවසේ ස්වාමින්වහන්සේ ඔවුන්ගේ පලඳනා ඉවත් කරන සේක. එනම්, අලංකාර නූපුර, නළල් පට හා අඩ සඳ පලඳනා, 19තැල්ල, වළලු, මුහුණු වැසුම්, 20හිස් වැසුම්, අත්පට, බාපන, සුවඳ දියර හෙප්පු හා සුර, 21මුදු, නාසාභරණ, 22උත්සව ඇඳුම්, උඩු කබා, දිගු කබා හා මුදල් පසුම්බි, 23කැඩපත්, සිහින් හණ පිළි, හිස් පලඳනා හා වේල් පට යනාදියයි.
24සුගන්ධය වෙනුවට එහි තිබෙනු ඇත්තේ දුගන්ධයකි.
ඉඟ පටිය වෙනුවට ලණු පටෙකි.
මනාව සැකසූ වරලස වෙනුවට තට්ටයකි.
සිනිඳු සේල වෙනුවට ගෝණි පඩංගුවකි.
සුන්දරත්වය වෙනුවට හංවඩු කැළැල් ය.
25ඔබේ මිනිසුන් කඩු මුවහතින් ද
ඔබේ විරුවන් සටනෙහි දී ද වැටී යනු ඇත.
26සියොන් දොරටු, විලාප දී, වැලපෙනු ඇත.
හිස්වී ඇය බිම වැද හෙවෙනු ඇත.

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 3: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න