යෙසායා 26
26
පැසසුම් ගීයක්
1ඒ දවසේ යූදා දේශයේ මේ ගීතය ගායනා කෙරෙනු ඇත:
අපට ප්‍රබල පුරවරයක් ඇත.
උන්වහන්සේ ගැලවීම පිහිටුවන්නේ
පවුරු හා කොටු තාප්ප වශයෙනි.
2ඇදහිල්ලේ පවතින දමිටුකමේ ජාතිය
ඇතුල් වන පිණිස
දොරටු අරින්න.
3ඔබ කෙරේ විශ්වාසය තබන බැවින්,
ස්ථිර සිත ඇති තැනැත්තා,
ඔබ පරිසමාප්ත සාමයෙහි තබනු ඇත.
4 ස්වාමින්වහන්සේ කෙරේ සදහට විශ්වාසය තබන්න.
මන්ද ස්වාමින්වහන්සේ එසේය, ස්වාමින්වහන්සේ සදාතනික පර්වතයාණන් ය.
5අහංකාර පුරවරයෙහි, උසස් තැන්හි වෙසෙන්නවුන්
උන්වහන්සේ යටහත් කරන සේක.
උන්වහන්සේ එය බිමෙහි ම හොවන සේක.
දූලියෙහි හෙළන සේක.
6පීඩිතවූවන්ගේ පාදවලින්,
දුප්පතුන්ගේ අඩිවලින්
එය පයින් පාගා දැමේ.
7දමිටුන්ගේ මාවත සමතල ය.
අහෝ සෘජුගුණ ඇත්තාණනි, ඔබ දමිටුනගේ මාර්ගය සුමට කරවන සේක.
8එසේය ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන්ගේ මාවත ඇතුළත
අපි ඔබ ගැන බලා හිඳින්නෙමු.
ඔබගේ නාමය හා ඔබගේ මතකය
අප ජීවයේ අභිලාෂයයි.
9මගේ ජීවය රෑ කල ඔබ කෙරේ ලොල් වෙයි.
මගේ ආත්මය මා තුළ දැඩි ඕනෑකමින් ඔබ සොයයි.
මන්ද ඔබගේ විනිශ්චයන් මිහි පිට ඇති කල,
ලෝක වාසි ජනයා ධර්මිෂ්ඨකම උගෙනිති.
10දුෂ්ටයිනට කරුණා අනුග්‍රහ පෑව ද,
ඔහු ධර්මිෂ්ඨකම ඉගෙන ගන්නේ නැත.
යුක්තියේ දේශයේ සිටිමින් වුව ද, ඔහු අයුක්තියෙහි ම ගැලෙයි.
ස්වාමින්වහන්සේගේ මහානුභාවය ද ඔහු නො සලකයි.
11අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ හස්තය ඉහළට එසවී ඇත.
එහෙත් ඔවුනට එය නො පෙනේ.
ඔබගේ ජනතාව වෙතැති ඔබගේ උද්යෝගය දැක, ඔවුහු ලජ්ජාවට පත් වෙත්වා.
ඔබගේ සතුරන් සඳහා වූ ගින්නෙන් ඔවුන් දැවී යෙත්වා.
12අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අප උදෙසා සාමය පනවන සේක.
අප ඉටු කළ සියල්ල අප උදෙසා ඔබ ම ඉටු කළ සේක.
13අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, ඔබ හැර වෙනත් ස්වාමිවරු ද අප පාලනය කළහ.
එහෙත් ඔබේ නාමය පමණක් ම ය අප සිහියට නැගෙන්නේ.
14ඔවුන් දැන් මිය ගොසිනි. ඔවුන් තවත් ජීවත් නො වේ.
මිය ගිය එම ආත්ම, යළි නැගිට එන්නේ නැත.
ඔබ ඔවුනට දඬුවම් කළ සේක. ඔවුන් විනාශ කර දැමූ සේක.
ඔවුන් පිළිබඳ සියලු මතක මුළුමනින් පිසදා ලූ සේක.
15ජාතිය පුළුල් කළ සේක ඔබ,
අහෝ ස්වාමින්වහන්ස, ජාතිය පුළුල් කළ සේක ඔබ.
ඔබ, ඔබට ම තේජස අත්කර ගත් සේක.
දේශයේ සියලු මායිම් පුළුල් කළ සේක ඔබ.
16අහෝ ස්වාමින්වහන්ස, ඔවුන්ගේ විපතේදී ඔවුහු ඔබ සෙවූහ.
ඔබගේ හික්මීම ඔවුන් මත වූ කල
ඔවුහු යාච්ඤාවක් තොල් මතුළහ.
17දරු ප්‍රසූතිය ළං වූ කල,
ගැබ්බර ළඳක විලිරුදාවෙන් ඇඹරෙමින්, කෑ මොර දෙන සේ,
අහෝ ස්වාමින්වහන්ස, ඔබ ඉදිරියේ අපත් එසේ ම ය.
18අපි ගැබ්බර ව සිටියෙමු; විලිරුදාවෙන් ඇඹරුණෙමු.
එහෙත් අප බිහි කළේ සුළං පමණි.
අප මේ පොළොවට ගැලවීම ගෙන ආවේ නැත.
ලෝ වැසි ජනයා ඉපදුණේ නැත.
19ඔබගේ මළවුන් ජීවත් වනු ඇත.
ඔවුන්ගේ සිරුරු නැගී සිටිනු ඇත.
දූලියෙහි නිදන්නනි,
පිබිද, ප්‍රීතියෙන් ගී ගයනු.
ඔබගේ පිණිකැට අරුණලු පිණිකැට වැන්න.
පොළොව, තම මළවුන්ට යළි ඉපදීම ගෙන දෙනු ඇත.
20එන්න, මා ජනයිනි, ඔබගේ කුටිවලට වැද,
දොරගුළු ලා ගන්න.
මද කලක් එහි සැඟවී ගන්න,
ක්‍රෝධය පහ වී යන තුරු.
21මෙන්න! පොළෝ වාසී ජනයාට ඔවුන්ගේ පව්වලට දඬුවම් කරන්නට,
ස්වාමින්වහන්සේ ස්වකීය වාසභවනෙන් පිටත් ව එන සේක.
තමන් මත හෙළූ ලේ ගැන පොළොව එළිදරවු කරනු ඇත.
මිහි මත මැරුම් කෑවුන් ගැන තවත් සඟවනු නො ලැබේ.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 26: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.