යෙසායා 25

25
ස්වාමින්වහන්සේ පසසන්න
1අහෝ ස්වාමින්වහන්ස, ඔබ මගේ දෙවියන්වහන්සේ ය.
මම ඔබ උසස් කරන්නෙමි; ඔබේ නාමයට ප්‍රශංසා කරන්නෙමි.
මන්ද ඈත අතීතයේ සැලසුම් කළ ආශ්චර්යවත් දෑ,
පරිපූර්ණ විශ්වාසී භාවයෙන් යුතු ව
ඔබ ඉෂ්ට කළ සේක.
2මන්ද ඔබ, පුරවරය, ගල් කැබලි ගොඩක් ද
බළකොටු-පුරවරය, සුන්බුන් ගොඩක් ද කළ සේක.
විදේශීන්ගේ බළකොටුව, තවදුරටත් පුරවරයක් නො වන තැනට පත් කළ සේක.
යළි කිසි දින එය ගොඩ නගනු නො ලැබේ.
3එබැවින් බලවත් ජනයා, ඔබට ගෞරවය දෙනු ඇත.
කුරිරු ජාතීන්ගේ පුරවර ද ඔබට භය වනු ඇත.
4දුගියාට ඔබ රක්ෂස්ථානයක් ව සිටි සේක්,
දිළින්දාට ඔහුගේ විපතේදී ඔබ ඔහුට රක්ෂා ස්ථානයක් වූයේ
කුණාටුවේදී ආවරණයක් ද
ගිනියම් වේලෙහි සෙවණක් ද වෙමිනි.
මන්ද කුරිරු මිනිසුන්ගේ හුස්ම,
තාප්පයකට ගැසූ කුණාටුවක් සේ ද
5කාන්තාරයේ ගිනියම් උණුසුම ද සේ විණ.
විදේශීන්ගේ ගාලගෝට්ටිය ඔබ නිහඬ කළේ,
වලාකුළක සෙවණැල්ලෙන් උෂ්ණයේ සැර බාල කරන්නා සේ,
කුරිරු මිනිසුන්ගේ ගීතය නිහඬ කරමිනි.
6සේනාංකවල ස්වාමින්වහන්සේ මෙම කන්ද මත
සියලු ජනයින්ට රසමසවුලෙන් යුතු
පරණ කළ මිදි යුෂවලින් යුතු මංගල සාදයක් පිළියෙල කරන සේක.
එම ප්‍රිය සාදය ඉතා හොඳ මසින් ද ඉස්තරම් මිදි යුෂවලින් ද යුතු වෙයි.
7සියලු ජාතීන් වසා ගත් වැසුම් තිරය,
සියලු ජනයින් මත අතුළ ආවරණය,
උන්වහන්සේ මේ කන්ද මතදී ගිල දමන සේක.
8උන්වහන්සේ, මරණය සදහට ම ගිල දමන සේක.
පරමාධිපති ස්වාමින්වහන්සේ සියලු මුහුණුවලින්
කඳුළු ඉවත ගසා දමන සේක.
උන්වහන්සේ තම ජනතාවගේ නින්දාව,
මුළු පොළෝ තලයෙන් පහ කර දමන සේක.
මන්ද ස්වාමින්වහන්සේ කතා කර ඇත.
9ඒ දවසේ මෙසේ කියනු ඇත:
“මෙන්න! මේ අපේ දෙවියන්වහන්සේ ය.
උන්වහන්සේ අප ගලවන පිණිස, අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමු.
මුන්වහන්සේ ස්වාමින්වහන්සේ ය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමු.
උන්වහන්සේගේ ගැලවීමෙහි අපි ප්‍රීති වෙමු; ප්‍රමෝද වමු.”
10මන්ද ස්වාමින්වහන්සේගේ හස්තය මේ කන්ද මත පිහිටා සිටිනු ඇත.
එහෙත් මෝවබ්, එය පිහිටි තැනේදී මඩිනු ලබන්නේ
ගොම ගොඩෙහි පිදුරු පාගා දමන පරිද්දෙනි.
11තවද ඒ මධ්‍යයේ ඔහු තම දෑත විහිදනු ඇත්තේ,
පිහිනුම්කරුවකු පිහිනන්නට තම දෑත විහිදන්නා සේ ය.
එහෙත් ඔවුන්ගේ අත්වල නිපුණතාව නො තකා
දෙවියන්වහන්සේ ඔවුන්ගේ අහංකාර උඩඟුව පහත හෙළන සේක.
12ඔහුගේ උස් පවුරුවල ආරක්ෂිත භාවය, පහත හෙළා,
උන්වහන්සේ ඒවා බිම හෙළාලනු ඇත.
උන්වහන්සේ ඒවා මහා පොළොවෙහි,
දූවිල්ලෙහි ම හෙළනු ඇත.

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 25: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න