එසකියෙල් 44

44
නැගෙනහිර දොරටුව
1ඉන්පසු ඒ මිනිසා ශුද්ධස්ථානයෙන් පිටත නැගෙනහිර දොරටුවට ආපසු මා ගෙනාවේ ය. එය වසා තිබිණ. 2ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “මෙම දොරටුව වසා තැබිය යුතු ය. එය විවර නො කළ යුතු ය. කිසිවකුත් එතුළින් ඇතුළු නො විය යුතු ය. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ එතුළින් ඇතුළු වූ බැවින් එය වසා තැබිය යුතු ය. 3අධිපතියාට පමණක් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ආහාර ගැනීමට දොරකඩ ඇතුළත හිඳගත හැකි ය. ඔහු දොරකඩ බරාඳය මාර්ගයෙන් ඇතුළු ව එමඟින් ම පිටතට ආ යුතු යැ” යි පැවසූ සේක.
4ඉන්පසු ඒ මිනිසා උතුරු දොරටු මාර්ගයෙන් ගෘහයේ ඉදිරිපසට මා ගෙනාවේ ය. මා බැලූ කල, මෙන්න! ස්වාමින්වහන්සේගේ ගෘහය ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් පිරෙනු දුටිමි. එකල මම මුහුණ බිමට නමා, වැඳ වැටුණෙමි.
5 ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “මනුෂ්‍ය පුත්‍රය, ස්වාමින්වහන්සේගේ ගෘහයට අදාළ සියලු නියෝග හා උපදෙස් සම්බන්ධ ව මා පවසන හැම දේ ගැන සැලකිල්ලෙන් බලා, හොඳින් සවන් දී, අවධානය යොමු කරන්න. ගෘහයේ පිවිසුම හා ශුද්ධස්ථානයේ සියලු පිටවීම් වෙත අවධානය යොමන්න. 6කැරලිකාරී ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලාගේ පිළිකුල්කම් හොඳට ම ඇති! 7නුඹලාගේ සියලු පිළිකුල්කම් මදිවාට, නුඹලා මට ආහාර ද මේදය ද ලෙය ද ඔප්පු කරන අතර තුර හදවතින් මෙන් ම මාංසයෙන් ද චර්ම-අඡේදිත විදේශිකයින් මගේ ශුද්ධස්ථානයට ගෙනවුත්, නුඹලා මගේ ගිවිසුම කඩකර ඇත. 8මගේ ශුද්ධ දෑට අදාළ වගකීම් දරනු වෙනුවට නුඹලා මගේ ශුද්ධස්ථානයේ ඒ වගකීම් පිටස්තරයන් පිට පටවා ඇත. 9පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඉශ්‍රායෙල්වරුන් අතරේ වෙසෙන විදෙස්සන්ගෙන් හදවතින් හා මාංසයෙන් චර්ම-අඡේදිත කිසි විදෙස්සකු මගේ ශුද්ධස්ථානයට ඇතුළු නො විය යුතු ය.
10“ ‘ඉශ්‍රායෙල්වරුන් මුළාව ගිය විට, මවෙතින් ඈත් ව, තම පිළිම රූප පස්සේ මංමුළා ව ගිය, මගෙන් බොහෝ ඈත් ව ගිය, ලෙවීවරුන් තම පාප විපාකය දැරිය යුතු ය. 11ඔවුන් මගේ ශුද්ධස්ථානයේ මෙහෙයයේ යෙදෙනු ඇත. ගෘහයේ දොරටු-පාලකයින් ව, ගෘහ සේවයේ යෙදෙනු ඇත. ඔවුන් දවන යාග පූජා හා යාග පූජා සතුන් මරනු ඇත. ජනයාගේ මෙහෙයයට ඔවුන් ඉදිරිපිට සිටගනු ඇත. 12එහෙත්, ඔවුන් ජනයාගේ පිළිම රූප ඉදිරිපිටදී ද ජනයාට මෙහෙ කරමින්, ඉශ්‍රායෙල් වංශය පවට වැටෙන්නට සැලසූ බැවින්, තම පාප විපාකය ඔවුන් දැරිය යුතු වගට මගේ හස්තය ඔසවා, දිවුරුවෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 13පූජකයින් වශයෙන් මට මෙහෙ කිරීමට ඔවුන් මා වෙත ළඟා නො විය යුතු ය. අතිශුද්ධ දෑ හෝ මගේ ශුද්ධ පිදුම් වෙතට හෝ ළං නො විය යුතු ය. තමන් කළ පිළිකුල්කම්වල නින්දාව ඔවුන් දැරිය යුතු ය. 14එහෙත්, ගෘහ කාරියෙහි බාරකාරත්වය හා එතුළ ඉටු කළ යුතු සියලු වැඩ මම ඔවුන්ට පවරමි.
15“ ‘එහෙත්, ඉශ්‍රායෙල්වරුන් මගෙන් ඈත් ව, මුළාව ගිය අවස්ථාවේදී මගේ ශුද්ධස්ථානයේ කාර්යය විශ්වසනීය ව පවත්වාගෙන ගිය සාදෝක්ගෙන් පැවතෙන ලෙවීයයන් වන පූජකයින් මා අබියස මට මෙහෙ කිරීමට මවෙත ළඟා වෙත්වා. මේද හා ලේ පූජා ඔප්පු කිරීමට මා අබියස සිට ගැනීමට ඔවුනට හැකි යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 16මගේ ශුද්ධස්ථානයට ඇතුල් විය යුත්තේ ඔවුන් පමණකි. මා අබියස මෙහෙ කිරීමට හා මගේ සේවා පැවැත්වීමට මගේ මේසය ළඟට පැමිණිය යුත්තේ ඔවුන් ම පමණෙකි.
17“ ‘ඇතුළු මළුවේ දොරටුවලින් ඇතුළු වන කල, ඔවුන් හණ පිළි ඇඟලිය යුතු ය. ඇතුළු මළුවේ දොරටුවලදී හෝ ගෘහය ඇතුළතදී හෝ මට මෙහෙ කරන අතරේ ඔවුන් ලොම් ඇඳුම් ඇඟ ලා නො ගත යුතු ය. 18ඔවුන් තම හිස් වටා හණ තලප්පා බැඳ, තම ඉඟ වටා හණ යට ඇඳුම් ඇඳගත යුතු ය. දහඩිය ගැන්වෙන කවර හෝ ඇඳුමක් ඔවුන් ඇඟ ලා නො ගත යුතු ය. 19පූජකයින්, ජනයා සිටින පිට මළුවට යන විට පූජා මෙහෙයයට හැඳි ඇඳුම් උනා, ඒවා ශුද්ධ කුටි ඇතුළත තබා, තම ඇඳුම් ඇඟ ලා ගත යුතු ය. එසේ කළ යුත්තේ, එම ඇඳුම් මගින් ජනයා විශුද්ධ නො කෙරෙන පිණිස ය.
20“ ‘ඔවුන් තම හිස් මුඩු කිරීම හෝ කොණ්ඩය වැවීම නො කළ යුතු ය. මනාව කොටට කැපිය යුතු ය. 21ඇතුළු මළුවට පිවිසෙන කල, කිසිදු පූජකයකු මිදි යුෂ පානය නො කළ යුතු ය. 22ඔවුන් වැන්දඹුවක හෝ දික්කසාදිත කාන්තාවක හෝ ආවාහ කොට නො ගත යුතු ය. ඔවුහු ඉශ්‍රායෙල් වංශික කන්‍යාවියක හෝ පූජකයකුගේ වැන්දඹුවක හෝ පමණක් ආවාහ කර ගනිත්වා. 23ඔවුන් මගේ ජනයාට ශුද්ධ හා සාමාන්‍ය දේ අතර වෙනස කවරේ ද යන්න හා අපවිත්‍ර හා පවිත්‍ර දෑ හැඳින ගන්නේ කෙසේ ද යන්න ඉගැන්විය යුතු ය.
24“ ‘ආරවුලකදී විනිශ්චය කළ යුත්තේ පූජකවරුන් ය. ඔවුහු මගේ නියමයන්ට අනුකූලව තීරණ ගනිත්වා. ඔවුන් මගේ නීති ද මගේ නියෝග ද නිසි කල්හි දී මගේ උත්සව හැමකක් ම ද පැවැත් විය යුතු ය. ඔවුන් මගේ සබත් ශුද්ධ ව පැවැත් විය යුතු ය.
25“ ‘මළ කෙනකු අසලට යෑමෙන්, පූජකයා තමා දූෂ්‍ය කර නො ගත යුතු ය. කෙසේ වුව ද මිය ගිය ඔහුගේ පියා හෝ මව හෝ පුත්‍රයා හෝ දියණිය හෝ සහෝදරයා හෝ අවිවාහක සහෝදරිය හෝ වේ නම් ඔහුට දූෂ්‍ය විය හැකි ය. 26පවිත්‍ර කරනු ලැබුවාට පසු ඔහු හත් දවසක් ගෙවෙන්නට හැරිය යුතු ය. 27ශුද්ධස්ථානයේ මෙහෙයයට ඔහු ශුද්ධස්ථානය තුළට යන දවසේ ඔහු තමා උදෙසා පාප පූජාවක් පිදිය යුතු යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
28“ ‘පූජකයින්ට ඇති එක ම උරුමය මා ය. ඔබ ඔවුන්ට ඉශ්‍රායෙල්හි කිසිදු උරුමයක් නො දිය යුතු ය. ඔවුන්ගේ අයිතිය මා ය. 29ඔවුන්, ධාන්‍ය පූජා ද පාප පූජා ද වරද පහ කිරීමේ පූජා ද ආහාරයට ගනු ඇත. ස්වාමින්වහන්සේට කැප ඉශ්‍රායෙල්හි හැම දෙයක් ම ඔවුන්ට අයිතිය. 30ප්‍රථම පල සියල්ලෙන් පළමු දේ ද ඔබගේ විශේෂ ත්‍යාග-දීමනා සියල්ල ද පූජකයින්ට අයිති වන්නේ ය. ඔබගේ නිවැසියන් පිට ආශිර්වාදයක් පිහිටන පිණිස, ඔබගේ ඇනූ පිටියෙන් පළමු කොටස, පූජකයින්ට දිය යුතු ය. 31මැරී සිටි, නැතහොත් වන සීපාවුන් විසින් ඉරා දමන ලද යම් කුරුල්ලකුගේ හෝ යම් සතකුගේ හෝ මස පූජකයින් ආහාරයට නො ගත යුතු ය.

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 44: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න