එසකියෙල් 43

43
දිව්‍ය තේජස යළි දේව මාලිගයට පිවිසීම
1ඉන්පසු ඒ මිනිසා නැගෙනහිරට මුහුණ ලා ඇති දොරටුව වෙත මා කැඳවාගෙන ආවේ ය. 2එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය, නැගෙනහිරින් පැමිණෙනු මම දුටුවෙමි. උන්වහන්සේගේ කටහඬ කඩා හැලෙන ජල ඝෝෂාවක් වැන්න. මිහිතලය උන්වහන්සේගේ තේජෝ මහිමයෙන් දීප්තිමත් විය. 3මා දුටු මෙම දර්ශනය, පුරවරය විනාශ කිරීමට උන්වහන්සේ පැමිණි විට#43:3 පැමිණි විට හෙවත් මම පැමිණි විට මා දුටු දර්ශනය හා කෙබාර් ගංගාව අසබඩදී මා දුටු දර්ශනය වැන්න. මම මුහුණ බිමට නමා, වැඳ වැටුණෙමි. 4ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, නැගෙනහිරට මුහුණ ලූ දොරටුවෙන් ගෘහයට ඇතුළු විය. 5එවිට ආත්මයාණෝ මා ඔසවා, ඇතුළු මළුවට මා පැමිණ වූහ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් ගෘහය පිරී ගියේ ය.
6ඒ මිනිසා මා පසෙකින් සිටගෙන සිටියදී, ගෘහය තුළ සිට යමකු මා අමතනු මට ඇසුණේ ය. 7උන්වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මගේ සිංහාසනයේ ස්ථානය මෙයයි; මගේ පා පතුල් තබන ස්ථානය මෙයයි. ඉශ්‍රායෙල්වරුන් අතරෙහි මා සදාතනික ව වාසය කරන්නේ මෙතැනයි. ඉශ්‍රායෙල් වංශය යළි කිසි කලෙක මගේ ශුද්ධ නාමය කෙලෙසනු නැත. ඔවුන් හෝ ඔවුන්ගේ රජුන් හෝ තමන්ගේ වේශ්‍යාකම්වලින් හා ඔවුන්ගේ උස් තැන් පුදසුන්හි මළ රජුන්ගේ මළමිනී මගින් තවත් එසේ නො කරනු ඇත. 8ඔවුන් තමන්ගේ එළිපත්ත මගේ එළිපත්තට යාව තබා, ඔවුන්ගේ උළුවස්ස මගේ උළුවස්සට යාව තැබූ කල, ඔවුන් හා මා අතර වූයේ බිත්තියක් පමණි. ඔවුහු තම පිළිකුල් ක්‍රියා මගින් මගේ ශුද්ධ නාමය කෙලෙසූහ. එබැවින් මගේ කෝපයෙන් මම ඔවුන් විනාශ කළෙමි. 9දැන් ඔවුන් තම වේශ්‍යාකමත්, ඔවුන්ගේ රජුන්ගේ පණ නැති මළමිනීත් මා වෙතින් ඉවත් කළා වේ. එවිට මම සදාතනික ව ඔවුන් අතරේ වාසය කරන්නෙමි.
10“මනුෂ්‍ය පුත්‍රය, තමන්ගේ පාප ගැන ලජ්ජා වන පිණිස, ඉශ්‍රායෙල් ජනතාවට ගෘහය විස්තර කර දෙන්න. එහි සැලැස්මට ඔවුන්ගේ සැලකිල්ල යොමු කරවන්න. 11එසේ ඔවුන් තමන් කළ හැම දේ ගැන ලජ්ජා වන්නේ නම්, ගෘහයේ සැලැස්ම, එහි සැකසුම්, එහි පිටවීම් හා පිවිසුම් යන මුළු සැලැස්ම ද එහි නියමයන් හා නීති ද ගැන ඔවුන් දැනුවත් කරන්න. එහි සැලැස්මට ඔවුන් විශ්වාසවන්ත වන පිණිසත්, එහි සියලු නියමයන් පිළිපදින පිණිසත් ඔවුන් ඉදිරිපිට මේවා ලියන්න.
12“ගෘහයේ නීතිය මෙයයි. කඳු මුඳුන වටා මුළු ප්‍රදේශය ම අතිශුද්ධ ය. ගෘහයේ නීතිය එයයි.
පූජාසනය
13“පූජාසනයේ මිමි, දිගු රියන්වලින් මෙසේ ය. දිගු රියනක් යනු රියනකුත් අල්ලකි. එහි අඩිතාලම, රියනක් උසින් ද රියනක් පළලින් ද අයින වටා වියතක ගැටියකින් ද යුතු විණ. පූජාසනයේ උස මෙපරිදි ය. 14බිම් අඩිතාලමේ සිට පහළ ස්තරය දෙරියනක් උසින් ද රියනක් පළලින් ද යුතු විණ: කුඩා ස්තරයේ සිට මහ ස්තරය සිවු රියනක් උසින් හා රියනක් පළලින් යුතු විණ. 15පූජාසන උදුන සිවු රියනක් උස ය. උදුනේ සිට අං සතරක් උඩට නෙරා තිබිණ. 16පූජාසන උදුන සමචතුරස්‍රාකාර ය. දිගින් රියන් දොළසකි. පළලින් රියන් දොළසකි. 17ඉහළ ස්තරය ද සමචතුරස්‍රාකාර ය. දිගින් රියන් දසසතරකි. පළලින් රියන් දාහතරකි. ඒ වටා අඩ රියනක ගැටියක් හා රියනක අඩියක් ද විය. පූජාසනයේ පිය ගැට නැගෙනහිරට මුහුණ ලෑවේ ය.”
18ඉන්පසු ඔහු මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: පූජාසනය මත දවන යාග පූජා ඔප්පු කිරීමට හා ඒ මත ලේ ඉසීමට එය ගොඩ නැගූ කල, ඊට අදාළ නියමයන් මෙසේ වෙයි. 19මට සේවය කරන පිණිස, මවෙත ළඟා වන සාදෝක් පෙළපතේ ලෙවීය පූජකයින්ට පාප පූජාවක් වශයෙන් ඔබ ගව වස්සකු දිය යුතු යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 20ඔබ, උගේ ලේ ස්වල්පයක් ගෙන, පූජාසන අං සතර මත හා උඩ ස්තරයේ කොන් සතර මත ද ගැටිය වටා ද වත් කොට පූජාසනය ශෝධනය කොට, ඊට පාප වන්දි නිවාරණයක් සැලසිය යුතු ය. 21පාප පූජාවේ ගවයා ගෙන, ශුද්ධස්ථානයෙන් පිටත, එහෙත් ගෘහයේ ඊට නියමිත ස්ථානයේදී ඔබ ඌ දැවිය යුතු ය.
22“දෙවන දවසේ කැළැල් රහිත එළුවකු-පිරිමි සතකු පාප පූජාවක් වශයෙන් යාග කොට, ගවයාගෙන් කළ පරිදි පූජාසනය ශෝධනය කළ යුතු ය. 23ඔබ එහි ශෝධනය නිම කළ පසු, කැළැල් රහිත ගව වස්සකු හා කැළැල් රහිත බැටළුවකු රංචුවෙන් ගෙන ඔප්පු කළ යුතු ය. 24ඔබ, ස්වාමින්වහන්සේ ඉදිරියේ උන් පිළිගැන්විය යුතු ය. එවිට පූජකවරුන් උන් පිට ලුණු ඉස, ස්වාමින්වහන්සේට දවන යාග පූජාවක් කොට උන් යාග කළ යුතු ය.
25“ඔබ දවස්පතා හත් දවසක් පාප පූජාවක් සඳහා එළුවකු සැපයිය යුතු ය. තවද කැළැල් රහිත ගව වස්සකු හා රංචුවෙන් කැළැල් රහිත බැටළුවකු ද ඔබ සැපයිය යුතු ය. 26හත් දවසක් ඔවුන් පූජාසනයට පාප වන්දි නිවාරණය සලසමින්, එය පවිත්‍ර කළ යුතු ය. මෙසේ ඔවුන් එය කැප කරනු ඇත. 27එම හත් දවසින් පසු, අ‍ට වන දවසේ පටන් පූජකයෝ පූජාසනය මත ඔබගේ දවන යාග පූජා හා ශාන්ති පූජා ඔප්පු කරත්වා. එවිට මම ඔබ පිළිගන්නෙමි” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 43: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න