2 සාමුවෙල් 24
24
සටන්කරුවන් ගණන් කිරීම
1නැවතත් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්රායෙල්ට එරෙහිව ඇවුළුණේ ය. “ගොස්, ඉශ්රායෙල් හා යූදා සංගණනයක් ගන්නැ” යි පවසමින්, උන්වහන්සේ ඔවුන්ට එරෙහිව දාවිත් පෙලඹ වූහ.
2එබැවින් රජු ඔහු සමඟ සිටි සෙන්පති#24:2 සෙන්පති ග්‍රීක පිටපත්වල යෝවාබ් සහ හමුදා සෙන්පතීන්ට වූ යෝවාබ් අමතා, “දාන් පටන් බෙයර්ෂෙබා දක්වා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර වංශ අතරේ ගමන් කොට, ජනයාගේ ගණන මා දැනගන්නා පිණිස, ජන ලේඛනයක් ගන්නැ” යි පැවසී ය.
3එහෙත් යෝවාබ්, රජු අමතමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජනගහනය සිය ගුණයකින් වැඩි කරන සේක්වා! මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ගේ ඇසින් ම එය දකින්නට ලැබේවා! එහෙත් මෙබන්දක් කරන්නට මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ට ඇති වුවමනාව මොකක් දැ?” යි ඇසී ය.
4කෙසේ වුව ද රජුගේ වචනයෙන් යෝවාබ් හා සෙන්පතීන් යටපත් කරනු ලැබිණි. එබැවින් ඉශ්රායෙල් ජනයා ගණන් ගැනීමට ඔවුහු රජු ඉදිරිපිටින් පිටත් ව ගියහ.
5ඔවුහු යොර්දානෙන් එතෙර ව, අරෝයෙර්හි කඳවුරු බැඳගෙන, දකුණෙන්, එනම් දොරුව මැද පිහිටි නගරයෙන් පටන් ගෙන, ගාද් හරහා යාසේර් දක්වා ගමන් ගත්හ. 6ඉන්පසු ඔවුහු ගිලියාද් දක්වා පැමිණ, එතැනින් තාතීම්-හොද්ෂී දේශය වෙත පැමිණ, දාන්-යාන් වෙත ගොස්, සීදොන් වෙත වටේට ගියහ. 7ඉන්පසු ඔවුහු තීර්හි බළකොටුව දෙසට ද හිවීවරුන්ගේ හා කානානිවරුන්ගේ සියලු නගරවලට ද ගියහ. ඔවුහු යූදාවේ දකුණ දෙස වූ බෙයර්ෂෙබා වෙත ද ගියහ.
8මෙසේ දේශය මුළුල්ලේ සැරි සැරූ පසු, නව මසකුත් දින විස්සක් අවසානයේ ඔවුහු ආපසු යෙරුසලමට ආහ.
9යෝවාබ් ගණන් කරන ලද ජන සංඛ්‍යාව රජුට වාර්තා කළේ ය. අසිපත් දරන සවි සම්පන්න ඉශ්රායෙල් ජනයා අට ලක්ෂයක් විය. යූදා මිනිස්සු පන් ලක්ෂයක් වූහ.
10ජන සංගණනය ගත් පසු, දාවිත්ගේ හද ඔහුට ම දොස් තැබී ය. ඔහු ස්වාමින්වහන්සේ අමතමින්, “මේ දේ කිරීමෙන් මම අතිශයෙන් පව් කළෙමි. දැන් අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ මෙහෙකරුගේ අපරාධය පහ කරන මෙන් අයදිමි. මන්ද මා ක්‍රියා කළේ මහත් අනුවණකමකිනි” යි පැවසී ය.
11පසු දින උදයේ දාවිත් අවදි වූ කල, ස්වාමින්වහන්සේගේ වචනය, දාවිත්ගේ අනාගතවක්තෘ වූ දිවැසිවර ගාද් වෙත පැමිණියේ ය: 12“යන්න, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේකැයි දාවිත්ට කියන්න: ‘මවිසින් ඔබ පිට පමුණු වන පිණිස කරුණු තුනක් ඔබ ඉදිරියේ තබමි. එයින් එකක් තෝරා ගන්න.’ ”
13එබැවින් ගාද් පිටත් ව, දාවිත් වෙත ගොස්, ඔහු අමතා, “ඔබේ දේශයෙහි ඔබ පිට තුන් අවුරුදු#24:13 තුන් අවුරුදු ග්‍රීක් පරිවර්තනයට අනුව ය. 1 ලේක 21;12ද බලන්න හෙබ්‍රෙව් පිටපත්වල සත් අවුරුදු ලෙස ඇත. සාගතයක් පැමිණීම; හෝ ඔබේ සතුරන් ඔබ පසු පස ලුහුබඳිද්දී තුන් මසක් ඔවුන් වෙතින් පලා යෑම; හෝ ඔබේ දේශය පිට තුන් දිනක වසංගතයක් හෝ යන කරුණු සැලකිල්ලට ගෙන, මා එවූ තැනැන්වහන්සේට මා පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි තීරණය කරන්නැ” යි කීවේ ය.
14දාවිත් ගාද් අමතමින්, “මා බරපතළ පීඩනයකට හසු වෙලා; ස්වාමින්වහන්සේගේ හස්තයට හසු වේවා! මන්ද උන්වහන්සේගේ දයාව අති මහත් ය. කෙසේ වෙතත් මිනිසුන්ගේ අත්වලට හසුවන්නට මට ඉඩ නො හරින්නැ” යි පැවසී ය.
15එබැවින් ස්වාමින්වහන්සේ ඒ උදෑසන සිට නියම කළ කාලය නිම වන තෙක්, ඉශ්රායෙල් පිටට වසංගතයක් එවූ සේක. දාන් පටන් බෙයර්ෂෙබා දක්වා ජනයාගෙන් හැත්තෑදහසක් දෙනා එයින් මළහ. 16දේව දූතයා යෙරුසලම විනාශ කරන්නට තමාගේ අත දිගු කළ විට, එම විපත්තිය ගැන ස්වාමින්වහන්සේ ශෝක වූ සේක්, ජනයා විනාශ කරමින් සිටි දූතයා අමතා, “ඔය ඇති! ඔබේ අත නවතා ගනු” යි කී සේක. ස්වාමින්වහන්සේගේ දූතයා ඒ වන විට සිටියේ යෙබූසීය අරව්නාගේ කමත අසල ය.
17දේව දූතයා ජනතාව ගසා හෙළමින් සිටිනු දුටු දාවිත්, ස්වාමින්වහන්සේ අමතමින්, “මෙන්න මමයි පව් කළේ; වැරදි කළේ මමයි#24:17 මමයි පුරාණ හෙබ්‍රෙව් සහ ග්‍රීක පිටපත්වල වැරදි කළේ එඬේරා වන මමයි ලෙස ඇත.; මේ බැටළුවෝ කුමක් කළෝ ද? ඔබගේ හස්තය මා පිටත්, මගේ පියවංශය පිටත් පතිත වේවා!” යි කීවේ ය.
දාවිත්ගේ පූජාව
18ඒ දවසේ ම ගාද්, දාවිත් වෙත අවුත්, ඔහු අමතමින්, “නැගිට යන්න. යෙබූසීය අරව්නාගේ කමතේ ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නගන්නැ” යි පැවසී ය. 19එවිට දාවිත්, ස්වාමින්වහන්සේ අණ කර තිබූ ගාද්ගේ වචනය පරිදි එහි පිටත් ව ගියේ ය. 20අරව්නා බැලූ කල, රජු ද රාජ සේවකයෝ ද තමන් දෙසට එනු දැක, පෙර මඟට අවුත්, නැමී, තම මුහුණ බිමට නමා, රජුට වැන්දේ ය.
21අරව්නා කතා කරමින්, “මගේ ස්වාමි වූ රජතුමා තම සේවකයා වෙත ආවේ කුමට දැ?” යි ඇසී ය.
දාවිත් පිළිතුරු දෙමින්, “ඔබේ කමත මිලට ගැනීමටයි. ජනයා වෙතින් වසංගතය නවතින පිණිස, ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නගන්නට” යි කීවේ ය.
22අරව්නා, දාවිත් අමතා, “මගේ ස්වාමි රජ්ජුරුවන්ට හොඳයයි හැඟෙන කවර දෙයක් වුව ගෙන, පූජා කරත්වා! දවන යාග පූජාව සඳහා ගවයින් ද දර සඳහා මඩින උපකරණ සහ ගව-වියගස් ද තිබේ. 23අහෝ රජතුමනි, අරව්නා මේ සියල්ල රජුට දෙන්නේ යැ” යි කීවේ ය. අරව්නා තවදුරටත් රජු අමතමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ පිළිගන්නා සේක්වා” යි පැවසී ය.
24එහෙත් රජු අරව්නාට පිළිතුරු දෙමින්, “එසේ නො වේ. මම එය ඔබගෙන් මිලයට ගන්නෙමි. මට කිසිවක් වැය නො වන කිසි යාග පූජාවක්, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මා පූජා කරන්නේ නැතැ” යි කීවේ ය.
මෙසේ දාවිත් එම කමත ද ගවයින් ද මිලට ගනිමින්, ඒ සඳහා රිදී ෂෙකෙල් පනහක්#24:24 ග්‍රෑම් 575ක් පමණ ගෙවී ය. 25දාවිත් එතැන ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නගා, දවන යාග පූජා ද ශාන්ති පූජා ද ඔප්පු කළේ ය. එවිට ස්වාමින්වහන්සේ දේශය උදෙසා වූ යාච්ඤාවට පිළිතුරු දෙමින්, ඉශ්රායෙල් වෙතින් වසංගතය නවතාලූ සේක.
දැනට තෝරාගෙන ඇත:
2 සාමුවෙල් 24: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.