2 සාමුවෙල් 23

23
දාවිත්ගේ අවසන් වදන්
1දාවිත්ගේ අවසන් වදන් මේවා ය:
“යෙස්සේගේ පුත් දාවිත්ගේ ප්‍රකාශයයි;
උතුම් බවට පමණුවන ලද,
යාකොබ්ගේ දෙවියන්වහන්සේ විසින් අභිෂේක කරන ලද මිනිසා වූ
ඉශ්‍රායෙල්ගේ ඉමිහිරි ගීතිකාකරු වූ මිනිසාගේ ප්‍රකාශයයි.
2ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ මා තුළින් කතා කළ සේක.
උන්වහන්සේගේ වචනය මගේ දිවෙහි වෙයි.
3ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කතා කළ සේක.
ඉශ්‍රායෙල්ගේ පර්වතයාණෝ මට මෙසේ කී සේක:
‘යමෙක් දමිටුකමින් මිනිසුන් ආණ්ඩු කරන්නේ ද,
දෙවියන්වහන්සේට භය පක්ෂපාතී ව පාලනයෙහි යෙදෙන්නේ ද,
4ඔහු, උදෑසන එළිය සේ ඔවුන් පිට බබළයි,
පොළොවෙන් තෘණ හටගන්වන වැස්සෙන් පසු,
වලාකුළින් තොර උදයක
දීප්තියෙන් බබළන හිරු වැන්න.’
5“සැබවින් ම දෙවියන්වහන්සේ ඉදිරියේ මගේ වංශය ඒ ආකාර වේ.
මන්ද උන්වහන්සේ හැම අංගයක් ම නිසි පිළිවෙලටත්,
සුරක්ෂිතවත්, මා සමඟ සදාතනික ගිවිසුමක් කළ සේක.
මන්ද උන්වහන්සේ මා සඵල වන්නට සලස්වා,
මගේ සියලු උපකාර හා අපේක්ෂා ඉටුවන්නට නො සලසන සේක් ද?
6එහෙත් දුෂ්ට මිනිසුන් සියල්ලෝ, ඉවත ලන කටු පඳුරු හා සමාන වෙති.
මන්ද ඒවා අතින් ඇල්ලිය නො හැකි ය.
7ඊට අත ගසන අය,
යකඩ උපකරණයක් හෝ හෙල්ල මිටක් හෝ උපයෝගී කර ගනිති.
ඒවා ඇති තැන්වල ම ඒවා පුලුස්සා දැමේ.”
දාවිත්ගේ ප්‍රබල රණශූරයින්
8දාවිත්ගේ බලවත් රණශූරයින්ගේ නාම මෙසේ ය:
තහෙක්මොනීය#23:8 තහෙක්මොනීය හක්මොනීය යන වචනයේ ප්‍රභේදයක් විය හැක 1 ලේක 11;11 බලන්න යොෂෙබ්-බෂ්ෂෙබෙත්; ඔහු තුන්දෙනාගේ ප්‍රධානියා විය. ඔහු මිනිසුන් අටසිය දෙනකුට එරෙහිව තම හෙල්ලය ඔසවා, එක් විටෙකදී ඔවුන් මරා දැමී ය.
9ඔහු ළඟට බලවත් රණශූරයින් තිදෙනා අතරින් අහෝහීය දෝදෝගේ පුත් එලෙයාසර් ය. පස්දම්මීම්හි යුද්ධයට එක් රැස් ව සිටි පිලිස්තිවරුන්ට අභියෝග කරමින්, ඔහු දාවිත් සමඟ සිටියේ ය. සෙසු ඉශ්‍රායෙල් මිනිසුන් පසුබසිද්දී, 10ඔහු නැගිට, තම අත විඩාබර ව, කඩුවට අත ඇලීයන තෙක් ම පිලිස්තිවරුන් ගසා හෙළී ය. ස්වාමින්වහන්සේ ඒ දවසේ මහා ජයග්‍රහණයක් සලසා දුන් සේක. මියගියවුන්ගෙන් පැහැර ගැනීමට පමණක් හේවායෝ එලියසේර් වෙත ආපසු ආහ.
11ඔහු ළඟට, හරාරීය ආගේගේ පුත් ෂම්මා විය. කොල්ලුවලින් ගහන කෙතක් තිබූ තැනකට පිලිස්තිවරුන් එකට රැස් වූ කල, හේවායෝ පිලිස්තිවරුන් වෙතින් පලා ගියහ. 12එහෙත් ෂම්මා, කෙත මැද නො සැලී සිට එය රැක ගනිමින්, පිලිස්තිවරුන් ගසා හෙළී ය. ස්වාමින්වහන්සේ ලොකු ජයක් සපයා දුන් සේක.
13පිලිස්ති හමුදා සේනාංකයක් රෙෆායිවරුන්ගේ මිටියාවතේ කඳවුරු බැඳ සිටියදී, ප්‍රධානීන් තිස්දෙනාගෙන් තුන් දෙනෙක් අස්වනු කාලයේදී අදුල්ලාම් ගුහාවෙහි සිටි දාවිත් වෙත පැමිණියහ. 14එදවස්හි දාවිත් හිටියේ බළකොටුවේ ය. පිලිස්ති මුර හමුදාව බෙත්ලෙහෙමේ විය. 15දාවිත්ට දැඩි ආශාවක් ඇති වී, “අහෝ බෙත්ලෙහෙම් දොරටුව ළඟ ළිඳෙන් කවුරුන් හෝ මට බොන්නට දිය ගෙනැවිත් දේ නම්!” යි කීවේ ය. 16එබැවින් මේ බලවත් රණශූරයින් තිදෙනා පිලිස්ති මුර පොළට කඩා වැද, ඒ මැදින් ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ ළිදෙන් දිය ඇද, දාවිත් වෙත ඒවා ගෙන ආහ. එහෙත් ඔහු ඒවා බොන්නට අකමැති ව, ස්වාමින්වහන්සේ ඉදිරියේ වැගිරවී ය. 17“අහෝ ස්වාමින්වහන්ස, එසේ කිරීම මගෙන් දුරු වේවා! තමන්ගේ ජීවිත පරදුවට තබා, එහි ගිය මිනිසුන්ගේ ලේ මම පානය කරම් දැ” යි ඔහු පැවසී ය. එබැවින් ඔහු ඒ දිය බොන්නට අකමැති විය.
එම බලවත් රණශූරයින් තිදෙනාගේ වික්‍රම එබඳු ය.
18සෙරූයාගේ පුත් යෝවාබ්ගේ සහෝදර අබිෂයි තිදෙනාගේ#23:18 තිදෙනාගේ හෙබ්‍රෙව් පිටපත් දෙකක සහ සිරියැක් පිටපතේ තිස් දෙනාගේ ලෙස ඇත. ප්‍රධානියා විය. ඔහු මිනිසුන් තුන්සිය දෙනකුට එරෙහිව තම හෙල්ලය ඔසවා, ඔවුන් මරා දැමී ය. මෙසේ ඔහු මුල් තිදෙනා මෙන් කීර්තියට පත් විය. 19ඒ තිදෙනාට වඩා වැඩි ගරුත්වයක් ඔහු හෙබවී ය. ඔහු ඔවුන්ගේ සෙන්පතියා ද විය. එහෙත් ඔහු ඔවුන් අතරට ඇතුළත් නො විණ.
20යෙහෝයාදාගේ පුත් බෙනායා, කබ්සෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙක් විය; මහත් ක්‍රියාකාරකම් කරන්නෙක් විය. ඔහු මෝවබ්හි ප්‍රබලතම විරුවන් දෙදෙනකු ගසා හෙළී ය. හිමෙන් වැසුණු දිනෙක ඔහු වළකට බැස, සිංහයකු මැරී ය. 21තවද ඔහු හැඩිදැඩි ඊජිප්තු ජාතිකයකු ද ගසා හෙළී ය. බෙනායා ඔහුට එරෙහිව ගියේ මුගුරක් අතැතිව ය. ඊජිප්තුවාගේ අතින් හෙල්ලය පැහැර ගත් ඔහු ඔහුගේ ම හෙල්ලයෙන් ඔහුට ඇන මරා දැමී ය. 22යෙහෝයාදාගේ පුත් බෙනායාගේ වික්‍රම එබඳු ය. බලවත් රණශූරයින් තිදෙනා සේ ම ඔහුත් නමක් දිනා ගත්තේ ය. 23තිස්දෙනාගෙන් කවරකුටත් වඩා උසස් වූ ගරුත්වයක් ඔහු දැරූ නමුදු, තුන් දෙනා අතරට ඔහු ඇතුළත් නො විණ. දාවිත් තමාගේ පෞද්ගලික ආරක්ෂකයින්ගේ ප්‍රධානියා ලෙස ඔහු පත් කළේ ය.
24තිස්දෙනා අතරෙහි මොවුහු ද වූහ:
යෝවාබ්ගේ සහෝදර අසාහෙල්,
බෙත්ලෙහෙමේ දෝදෝගේ පුත් එල්හානාන්,
25හරෝදීය ෂම්මා,
හරෝදීය එලිකා,
26පල්තීය හෙලෙස්,
තෙකෝවාහි ඉක්කේෂ්ගේ පුත් ඊරා;
27අනාතොත්හි අබියෙසෙර්,
හුෂාතීය මෙබුන්නයි.
28අහෝහීය සල්මොන්,
නෙටොෆාහි මහරයි.
29නෙටොෆාහි බානාගේ පුත් හේලෙබ්#23:29 හේලෙබ් බොහෝ හෙබ්‍රෙව් පිටපත්වලට අනුව ය; සමහර හෙබ්‍රෙව් පිටපත්වල සහ ලතින් අනුවාදවල 1 ලේක 11:30 ද බලන්න හේලෙද්;
බෙන්යමින් ජනයාගේ ගිබෙයාවෙන් රීබයිගේ පුත් ඉත්තයි.
30පිරාතෝනීය බෙනායා.
ගාෂ්හි ගිරිකඳුරුවල හිද්දයි#23:30 හිද්දයි හෙබ්‍රෙව් අනුව ය; සමහර ග්‍රීක පිටපත්වල 1 ලේක 11:32 ද බලන්න හූරයි.
31අර්බාතීය අබි-අල්බෝන්.
බර්හුමීය අස්මාවෙත්.
32ෂාල්බොනීය එලියාබා.
යාෂේන්ගේ පුතුන්,
යොනාතාන්. 33හරාරීය ෂම්මා.
හරාරීය ෂාරාර්ගේ#23:33 ෂාරාර්ගේ හෙබ්‍රෙව් අනුව ය; සමහර ග්‍රීක පිටපත්වල 1 ලේක 11:35 ද බලන්න සාකාර්ගේ පුත් අහියාම්.
34මාකාහි අහාස්බයිගේ පුත් එලිෆෙලෙත්.
ගීලොනීය අහිතොෆෙල්ගේ පුත් එලියාම්.
35කර්මෙලීය හෙස්රෝ.
අර්බාහි පාරයි.
36සෝබාහි නාතාන්ගේ පුත් ඉගාල්.
ගාද්හි බානී.
37අම්මොනීය සෙලෙක්.
සෙරූයාගේ පුත් යෝවාබ්ගේ ආයුධ ගෙන යන්නා වන බෙයේරොතීය නහරයි.
38ඉත්රීය ඊරා.
ඉත්රීය ගාරේබ්.
39හිත්තීය ඌරියා.
මුළු ගණන තිස්හත් දෙනෙකි.

දැනට තෝරාගෙන ඇත:

2 සාමුවෙල් 23: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න