2 සාමුවෙල් 22
22
දාවිත්ගේ පැසසුම් ගීය
1තමාගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ස්වාමින්වහන්සේ තමා මුදා ලූ දවසේ දාවිත් මේ ගී පද ස්වාමින්වහන්සේට ගායනා කළේ ය.
2“ස්වාමින්වහන්සේ මගේ පර්වතය ය. මගේ බළකොටුව ය;
මගේ මිදුම්කරුවාණෝ ය.
3මා පිළිසරණ ලබන මගේ දෙවියන්වහන්සේ, මගේ පර්වතය ය.
මගේ පලිහ ය ය; මගේ ගැලවීමේ අඟ ය.
උන්වහන්සේ මගේ සැඟවුම් පොළ ය; මගේ පිළිසරණය ය. මගේ ගැලවුම්කරු ය.
සාහසිකයින්ගෙන් ඔබ මා ගලවන සේක.
4“ප්‍රශංසා ලැබීමට සුදුස්සාණන් වූ ස්වාමින්වහන්සේට මම හඬ ගසමි;
එසේ, මගේ සතුරන්ගෙන් මම ගලවනු ලබමි.
5මරණයේ තරංග මා වටලා ගත්තේ ය;
විනාශයේ ජල ප්‍රවාහ මා යට කර දැම්මේ ය.
6ෂෙයෝලයේ#22:6 පාතාලයේ හෙවත් මළවුන්ගේ ස්ථානයේ රැහැන් මා වටා එතිණ;
මරණයේ උගුල් අබියසට ම පැමිණින.
7“මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට හඬ ගැසීමි.
මගේ දෙවියන්වහන්සේට මම මොර ගැසීමි.
ස්වකීය මාලිගයේ සිට උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක.
මගේ මොරගෑම, උන්වහන්සේගේ සවන් වැකිණ.
8එවිට, භූමිය වෙවුලා, කම්පන විය;
ස්වර්ගවල අත්තිවාරම් ද සෙලවිණ.
ඒවා සැලී-වෙවුලා ගියේ උන්වහන්සේ උරණ වූ නිසා ය.
9උන්වහන්සේගේ නාස් පුඩුවලින් දූම-වලා නැංගේ ය.
උන්වහන්සේගේ මුවින් විනාශකාරී ගින්දර පිට පැන්නේ ය;
දැවෙන අඟුරු එයින් ඇවිළ ගියේ ය.
10උන්වහන්සේ ස්වර්ගය හැර පහළට බැස ආ සේක.
උන්වහන්සේගේ පා යටින් වූයේ ගන කළුවර ය;
11උන්වහන්සේ කෙරුබ් පිට නැගී පියාසර කළ සේක්,
සුළඟේ පියාපත් පිට උන්වහන්සේ පෙනුණු සේක.
12අහසේ අඳුරු#22:12 අහසේ අඳුරු ග්‍රීක් පිටපතට අනුව ය. ගීතා 18;11 බලන්න හෙබ්‍රෙව් පාඨයේ තේරුම පැහැදිලි නැත. වැහි-වලා අන්ධකාරය උන්වහන්සේ
තමා වටා උඩු වියනක් කර ගත් සේක.
13උන්වහන්සේ අබිමුවෙහි වූ දීප්තිය වෙතින්
ගිනි අඟුරු ඇවිළ ගියේ ය.
14 ස්වාමින්වහන්සේ අහසේ සිට ගර්ජනා කළ සේක;
මහෝත්තමයාණන්ගේ කටහඬ ගිගුරුම් දුනි.
15උන්වහන්සේ තම හී ගස් විද, ඔවුන් විසුරූ සේක.
විදුලි අකුණු යවා, ඔවුන් පරදා ලූ සේක.
16 ස්වාමින්වහන්සේගේ තරවටුවෙන්,
උන්වහන්සේගේ නාස් පුඩුවල හුස්ම පහරින්,
සාගර පත්ල පෙනෙන්නට විණ.
පොළොවේ අත්තිවාරම් ද නිරාවරණ විය.
17“උන්වහන්සේ උස් තැන්හි සිට මා අල්ලා ගත් සේක්,
ජලයේ ගැඹුරින් පිටතට මා ඇදගත් සේක.
18මගේ බලවත් සතුරාගෙන් උන්වහන්සේ මා මිදූ සේක;
මට වඩා අතිශය ප්‍රබල මගේ එදිරිවාදීන්ගෙන් මා මිදූ සේක.
19මගේ විපත්ති දවසේ ඔවුහු මට විරුද්ධ ව පැමිණියහ;
එහෙත් ස්වාමින්වහන්සේ මගේ ආධාරය වූ සේක.
20පුළුල් නිදහස් තැනකට මා ගෙන ආ උන්වහන්සේ,
මා ගැන සොම්නස් වූ බැවින්, මා මුදා ගත් සේක.
21“මගේ දමිටුකමට අනුව, මා ගැන ස්වාමින්වහන්සේ ක්‍රියා කළ සේක.
මගේ අත්වල පවිත්‍රතාවට අනුකූලව, උන්වහන්සේ මට ඉටු විපාක දුන් සේක.
22මන්ද මම ස්වාමින්වහන්සේගේ මාර්ගවල පැවතුණෙමි;
මගේ දෙවියන්වහන්සේ වෙතින් ඉවත හැරීමේ දුෂ්ටකම නො කළෙමි.
23උන්වහන්සේගේ නියමයන් සියල්ල මා ඉදිරියේ විය;
උන්වහන්සේගේ නියෝගවලින් මම ඉවත නො හැරුණෙමි.
24උන්වහන්සේ ඉදිරියෙහි මම දෝෂ රහිත ව සිටියෙමි.
පව් කිරීමෙන් මා වළක්වා ගත්තෙමි.
25 ස්වාමින්වහන්සේ මට ඉටු විපාක දී ඇත්තේ, මගේ දමිටුකම්වලට අනුකූලව ය.
උන්වහන්සේගේ ඇස් හමුවෙහි මගේ පවිත්‍රතාවට අනුකූලව ය.
26“විශ්වාසවන්ත අය සමඟ ඔබ ද විශ්වාසවන්ත වූ සේක.
නිදොස් අයට ඔබ ද නිදොස් බව දක්වන සේක.
27පවිත්‍ර අයට, ඔබ පවිත්‍ර බව දක්වන සේක;
එහෙත් කෛරාටික අයට, ඔබ විචක්ෂණ වග දක්වන සේක.
28ඔබවහන්සේ නිහතමානීන් ගලවන සේක.
එහෙත් අහංකාර වූවන් පහත් කරන පිණිස, ඔබවහන්සේගේ ඇස් ඔවුන් පිට ය.
29මන්ද මගේ පහන ඔබ ය, අහෝ ස්වාමින්වහන්ස,
ස්වාමින්වහන්සේ මගේ අඳුර, ආලෝකයට හරවන සේක.
30ඔබගේ සහාය ඇති ව හමුදාවකට එරෙහිව යන්නට මට හැකි ය.
මගේ දෙවියන්වහන්සේ මගින් මට පවුරක් උඩින් පැනිය හැකි ය.
31“දෙවියන්වහන්සේ ගැන නම්, උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණ ය;
ස්වාමින්වහන්සේගේ වචනය නිර්මල ය;
උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය.
32මන්ද ස්වාමින්වහන්සේ මිස, දෙවියන්වහන්සේ අන් කවුරු ද?
අපේ දෙවියන්වහන්සේ හැර, පර්වතයාණෝ අන් කවුරු ද?
33දෙවියන්වහන්සේ මගේ ශක්තිමත් බළකොටුව ය;
උන්වහන්සේ මගේ මාවත පරිපූර්ණ කරන සේක.
34උන්වහන්සේ මගේ පාද මුවකුගේ පාද මෙන් කරන සේක.
උන්වහන්සේ උස් තැන්හි සුරැකි ව පිහිටන්නට මට සලස්වන සේක.
35මගේ දෑත යුද්ධයට හුරු කරවන්නේ උන්වහන්සේ ය;
එවිට, මගේ බාහුවලින්, ලෝකඩ දුන්නක් වුව නැවිය හැකි වෙයි.
36ඔබ මට ගැලවීමේ පලිහ දෙන සේක.
ඔබගේ මෘදුකම#22:36 මෘදුකම පුරාණ හෙබ්‍රෙව් පිටපත්වලට අනුව ය; මසෝරා පිටපත්වල ඔබගේ නිහතමානීකම මා උසස් කර ඇත.
37මා ගමන් ගන්නා අඩි පාර ඔබ පුළුල් කළ සේක.
එබැවින් මගේ පාද නො ලිස්සී ය.
38“මම මගේ සතුරන් ලුහුබැඳ, ඔවුන් පොඩිකර දැමීමි.
ඔවුන් වනසා දැමෙන තුරු, මම ආපසු නො හැරුණෙමි.
39මම මුළුමනින් ම ඔවුන් තළා, නො නැගිටින ලෙස මම ඔවුන් පොඩිකර දැමීමි;
මගේ පා යට ඔවුහු වැටී ගියහ.
40යුද්ධයට ශක්තියෙන් මා සන්නද්ධ කළ ඔබවහන්සේ,
මගේ එදිරිවාදීන් මගේ පයට යටවන්නට සැලසූ සේක.
41ඔබවහන්සේ මගේ සතුරන් හැරී පලා යන්නට සැලසූ සේක.
මම මගේ එදිරිවාදීන් වනසා දැමීමි.
42ඔවුහු බැලූහ; එහෙත් ඔවුන් ගලවන්නට කෙනකු නො වී ය.
ඔවුහු ස්වාමින්වහන්සේ දෙස බැලූහ; උන්වහන්සේ උත්තර නුදුන් සේක.
43පොළොවේ ධූලි බවට පත් වන සේ මම ඔවුන් තළා දැමීමි.
වීදිවල මඩ මෙන් මම ඔවුන් පොඩිකර, පාගා දැමීමි.
44“මගේ ජනතාවගේ විරෝධතාවලින් ඔබ මා මුදා ලූ සේක.
ජාතීන්ගේ හිස ලෙස ඔබ මා තැබූ සේක.
මා නො හැඳින සිටි ජනයා මට සේවය කරති.
45විදේශීහු මා ඉදිරියෙහි බැගෑපත් වෙති.
මා ගැන ඇසූ විගස ඔවුහු මට කීකරු වෙති.
46දිරිය බිඳී ගිය විදේශීහු සැවොම වෙවුල වෙවුලා,
තම බළකොටුවලින් පිටතට එති.
47“ස්වාමින්වහන්සේ ජීවත් වන්නාහ! මගේ පර්වතයාණන්ට පැසසුම් වේවා!
මගේ ගැලවුම්කාර පර්වතයාණන් වූ මගේ දෙවියන්වහන්සේ උසස් වේවා!
48මා උදෙසා පළි ගන්නා දෙවියන්වහන්සේ, උන්වහන්සේ ය.
උන්වහන්සේ ජාතීන් මා යටතට ගෙන එන සේක;
49මගේ සතුරන්ගෙන් මා නිදහස් කරන්නේ උන්වහන්සේ ය.
මගේ එදිරිවාදීන්ට ඉහළින් ඔබවහන්සේ මා උසස් කළ සේක.
සැහැසි මිනිසුන්ගෙන් ඔබවහන්සේ බේරූ සේක.
50එබැවින්, අහෝ ස්වාමින්වහන්ස, ජාතීන් අතරේ මම ඔබ පසසමි.
ඔබේ නමට මම පැසසුම් ගී ගයන්නෙමි.
51“උන්වහන්සේ තම රජ්ජුරුවන්ට මහා ජයග්‍රහණ දෙන සේක.
උන්වහන්සේ තම අභිෂේක ලද්දාණන් වන දාවිත්ට හා ඔහුගේ වංශයට,
සදාතනික නොමියෙන පෙමක් පානා සේක.”
දැනට තෝරාගෙන ඇත:
2 සාමුවෙල් 22: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.