2 පේතෘස් 2
2
බොරු-ගුරුන්ගේ ඉරණම
1එකල ජනතාව අතරේ බොරු දිවැසිවරුන් වූ සේ ම ඔබ අතරේ ද බොරු ගුරුන් ඇති වන්නේ ය. මෙම බොරු ගුරුවරු තමන් ව මිල දී ගත් ස්වාමියාණන් පවා ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට ශීඝ්‍ර විනාශයක් පමුණුවා ගනිමින්, විනාශකාරී මිථ්‍යා-ධර්ම හොර රහසේ ම හඳුන්වා දෙති. 2බොහෝ දෙනකු ඔවුන්ගේ මෙම නීච දුරාචාර මාර්ග අනුගමන කිරීමේ හේතුවෙන්, සත්‍යයේ මාර්ගයට නිග්‍රහ පැමිණෙනු ඇත. 3මෙම ගුරුන් තණ්හාව නිසා, තමන් ම ගෙතූ කතා මගින් තම වාසිය සඳහා ඔබ වෙළඳාමක් කර ගනු ඇත. ඔවුන්ගේ වරදට හිමි දණ්ඩනය ඈත අතීතයේ සිට ම සූදානම් ව පවතී. ඔවුන්ගේ විනාශය නිදා ගන්නේ නැත.
4මන්ද දේව දූතයින් පව් කළ කල්හි දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් දීමෙන් නො වැළකී, විනිශ්චය තෙක් ඔවුන් රඳවා තබන්නට නිරයට යවා, ඝන අන්ධකාර බන්ධනයේ හෙළූ සේක් නම්, 5ලෝකයේ දුෂ්ට අභක්තික ජනයා පිට ජලගැල්ම එවූ කල, උන්වහන්සේ එම පැරණි ලෝකයට දඬුවම් දීමෙන් නො වැළකී, ධර්මිෂ්ඨකමේ දේශකයකු වූ නෝවා ද තවත් හත්දෙනකු ද පමණක් ආරක්ෂා කළ සේක් නම්, 6උන්වහන්සේ සොදොම් හා ගොමොරා නගර දවා අළු කරමින් ඊට දඬුවම් දී, අභක්තික දුෂ්ටයනට මතු සිදුවන දේ ගැන එමඟින් පාඩමක් දුන් සේක් නම්, 7අසංවර මිනිසුන්ගේ දූෂිත ජීවිත පැවැත්ම නිසා සංවේගයට පත් ධර්මිෂ්ඨ මිනිසකු වූ ලොත් උන්වහන්සේ මුදා ගත් සේක් නම්, 8(මේ ධර්මිෂ්ඨ මිනිසා ඔවුන් අතරේ දිනෙන් දින දිවි ගෙවමින්, ඔහු ඇසූ දුටු ඔවුන්ගේ නොපනත්කම් නිසා තම ධර්මිෂ්ඨ ආත්මයෙන් වේදනා වින්දේ ය) 9දේව භක්තිකයින් පරීක්ෂාවන්ගෙන් ගලවන්නේ කෙසේ ද යන්නත්, විනිශ්චය දවස දක්වා අදමිටුවන් ඔවුන්ගේ දඬුවම් යටතේ දිගට ම තබා ගන්නේ කෙසේ ද යන්නත් ස්වාමින්වහන්සේ දන්නා සේක. 10විශේෂයෙන් මෙය බලපාන්නේ පාපී ස්වභාවයේ දූෂිත රාග තෘෂ්ණාවල යෙදෙන්නාවූත්, ආධිපත්‍යයට නිග්‍රහ කරන්නාවූත් අයට ය.
බිය සැක නැති මේ හිතුවක්කාර මිනිස්සු ශ්‍රේෂ්ඨයින්ට එරෙහිව නින්දා අපහාස කරන්නට වුව බය නො වෙති. 11දේව දූතයින්, සවියෙන් හා බලයෙන් වැඩි වුව ද ඔවුහු ස්වාමින්වහන්සේ අබියස ඔවුනට එරෙහිව අපහාසාත්මක චෝදනා නො නගති. 12එහෙත් මේ මිනිස්සු තමනට නො වැටහෙන දේට අපහාස කරති. මොවුන් සමාන වන්නේ අල්ලා, මරා දමනු ලබන්නට පමණක් උපන් අනුවණ සතුන් වූ වන මෘගයනට ය. ඒ සතුන් මෙන් මොවුහු ද විනාශයට ම යනු ඇත.
13තමන් විසින් කරන ලද පීඩාවේ කුලිය වශයෙන් ඔවුන් පීඩා විඳිනු ඇත. මහ දවල් මධු-සාද පැවැත්වීම ඔවුන්ගේ ප්‍රීතියේ අරමුණයි. ඔවුන් ඔබ සමඟ සංග්‍රහ විඳින කල, තමන්ගේ තෘෂ්ණා රැවටිලිකාරී ව ප්‍රදර්ශන කරන කල, එහි පලුදු හා කැළැල් ද ඔවුන් ම ය. 14ඔවුහු ලිංගික තෘෂ්ණා පිරුණු ඇසින් යුතු ව සෑහීමක් නැතිව පවෙහි ගැලෙති; අස්ථිරවූවන් වරදට පොලඹවති. ඔවුහු තණ්හාවට පුහුණු කර ගත් සිත් ඇත්තෝ ය; ශාප ලත් දරුවෝ ය. 15සෘජු මාර්ගය අත් හළ ඔවුහු දුෂ්ටකමේ කුලී මුදලට ගිජු වූ බෙයෝර්ගේ පුත් බාලාම්ගේ මාර්ගයේ යනු පිණිස, මංමුළා ව ගියාහු වෙති. 16එහෙත් බාලාම් තමා කළ වරදට තරවටු ලැබී ය; කතා බැරි බූරුවකු මිනිස් කටහඬින් කතා කළෙන් ඒ දිවැසිවරයාගේ මෝඩකම වැළැක්විණ.
17මොවුන් ජලය නැති උල්පත් ය; කුණාටුවෙන් පලවා හැරෙන මීදුමක් ය. ඔවුන්ට වෙන් කර ඇති තැන ඝන අන්ධකාරයයි. 18මන්ද වරදෙහි ගැලෙන්නවුන් වෙතින් මිදී ආ නවකයින් වෙත හිස් වචන ද පුරාජේරු කතා හා පවිටු මිනිස් ස්වභාවේ රාගික පෙලඹවීම් ද පානා ඔවුහු, 19තමන් ම අන්ත දූෂිතයෙහි වහලුන් ව සිටියදී, ඒ අයට නිදහස ගෙන දීමට පොරොන්දු වෙති. යමෙක් යමකට යටත් නම්, ඒ යටත් වූ දෑට ඔහු වහලකු වෙයි. 20අපගේ ස්වාමියාණන් හා ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැන-හැඳිනගැනීම මගින්, ලෝකයේ දූෂිතකමින් ගැලවුණු ඔවුන්, යළිත් ඒ දූෂ්‍යතාහි පැටලී ඊට යටත් වුවහොත් ඔවුන්ගේ අවසානය, ඔවුන්ගේ පළමු තත්වයට වඩා බෙහෙවින් ම නරක් වේ. 21ධර්මිෂ්ඨත්වයේ මාර්ගය දැන, තමනට භාර දුන් ශුද්ධ නියෝගයට පිටු පෑමට වඩා, එය නො දැන සිටීම ඔවුනට හොඳ ය. 22“බල්ලා, ඌ වමනය කළ දේට ම ආපසු හැරී එයි”#2:22 හිතෝප 26;11 යන ප්‍රස්තාව පිරුළ හා “නෑවාවූ ඊරී ආපසු මඩේ පෙරළීමට යයි” යන ප්‍රස්තාව පිරුළ ඔවුන් සම්බන්ධයෙන් සැබෑ ය.
දැනට තෝරාගෙන ඇත:
2 පේතෘස් 2: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.