2 පේතෘස් 3
3
ස්වාමින්වහන්සේගේ දවස
1ප්‍රේමණීයයනි, දැන් මා ඔබට ලියන්නේ මගේ දෙවන ලිපියයි. සිහිගැන්වීමේ මෙම ලිපි දෙකින් ම මා උත්සාහ කළේ, ඔබ තුළ නිමල සිතුවිලි පුබුදාලීමටයි. 2ශුද්ධ දිවැසිවරුන් මගින් ඉහතදී පවසන ලද පණිවුඩ හා ඔබගේ අපෝස්තුලුවරුන් මගින් අපගේ ගැලවුම්කාර ස්වාමින්වහන්සේ විසින් දෙන ලද නියෝග ඔබට යළි සිහිගන්වන්නට මා කැමතියි.
3සියල්ලට පළමු, ඔබ වටහා ගත යුත්තේ මෙයයි. එනම්, සත්‍යයට ගරහමින් තමන්ගේ ම දුෂ්ට තෘෂ්ණා අනුව කටයුතු කරන ගරහන්නන් අවසන් දවස්හි දී පැමිණෙන වගයි. 4ඔවුන්, “එතුමාණන් පොරොන්දු වූ පැමිණීම කෝ! අපේ පියවරුන් මැරුණු පසුත්, ලෝකය මැවූ තැන් පටන් තිබූ ලෙස හැම දේ වෙතැ” යි කියනු ඇත. 5ඔවුහු හිතා-මතා මේ කාරණ අමතක කරති. එනම්, දෙවියන්වහන්සේගේ වචනයෙන් ඈත අතීතයේ පටන් අහස තිබූ බවත්, ජලය මගින් ජලයෙන් ම පොළොව නිර්මාණ කරන ලද බවත්, 6එකල පැවති ලෝකය ඒ ජලය මගින් ම විනාශ කර දමන ලද බවත්, 7එම දේව වචනයෙන් ම මේ වත්මන් අහස හා පොළොව ගිනිලනු පිණිස අවසන් විනිශ්චය දවස හා අභක්තික-දුෂ්ටයින්ගේ විනාශය දක්වා වෙන් කර තබා ඇති බවත් ය.
8එහෙත් ප්‍රේමණීයයනි, මෙන්න මේක අමතක නො කරන්න; එනම් එක දවසක් ස්වාමින්වහන්සේට අවුරුදු දහසක් හා සමාන වගත්, අවුරුදු දහසක් එක දවසක් හා සමාන වගත් ය. 9පමාවකැයි ඇතමකු වටහා ගෙන ඇති නමුදු, ස්වාමින්වහන්සේ උන්වහන්සේ පොරොන්දු වූ දේ ඉටු කිරීමට පමා නො වන සේක. කිසිවකුත් විනාශ නො වී, හැම කෙනෙක් ම පසුතැවිලි වීම අපේක්ෂා කරමින්, උන්වහන්සේ ඔබ ගැන ඉවසා බලා සිටින සේක.
10එහෙත් ස්වාමින්වහන්සේගේ දවස සොරකු මෙන් පැමිණෙනු ඇත. එකල අහස ගර්ජනාත්මක ව පහ වී යනු ඇත. ආකාශ වස්තු ද ගින්නෙන් දැවී විනාශ කෙරේ. පොළොව ද එහි ඇති සියල්ල ද දැවී යනු ඇත.
11මේ මුළු විශ්වය ම ඒ අයුරින් විනාශ කරන බැවින්, ඔබ කවර අන්දමේ පුද්ගලයින් විය යුතු වේ ද? ඔබ ශුද්ධවත් ව, දේව භක්තික ව ජීවත් විය යුතු වන්නේ, 12දෙවියන්වහන්සේගේ දවස ගැන මග බලා හිඳිමිනි; එය කඩිනම් වීමේ අපේක්ෂාවෙනි. ඒ දවසේ අහස ගින්නෙන් දැවී විනාශ වී යන්නේ ය. ආකාශ වස්තූන් ද තාපයෙන් දියවී යනු ඇත. 13එහෙත් උන්වහන්සේගේ පොරොන්දුව පරිදි ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක් ද අලුත් පොළොවක් ද ගැන බලාපොරොත්තුවෙන් අපි මග බලා හිඳින්නෙමු.
14ඒ සඳහා ඔබ මග බලා හිඳින බැවින් ප්‍රේමණීයයනි, දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ කැළැල් රහිත ව, දෝෂ රහිත ව සාමයෙන් සිටිනු උන්වහන්සේට සම්බ වන පිණිස හැම පරිශ්‍රමයක් ම දරන්න. 15අපගේ ප්‍රේමණීය සහෝදර පාවුල් ඔහුට දී ඇති ප්‍රඥාවෙන් ඔබට ලියා ඇති පරිදි, අපගේ ස්වාමින්වහන්සේගේ ඉවසිල්ලේ අරුත ගැලවීම සැලැසීම බව සිත්හි තබා ගන්න. 16ඔහු තම ලිපි මගින් මේ කරුණු ගැන පවසද්දී හැම ලිපියක ම ලියන්නේ මේ දේ ම ය. වටහා ගැන්මට අපහසු ඇතැම් දෑ ඔහුගේ ලිපිවල අඩංගු වෙයි. නූගත්, චපල සිතැත්තෝ අනෙක් ශුද්ධ ලියවිලි මෙන් ම මේවා ද තමන්ගේ විනාශයට විකෘති කොට දක්වති.
17එබැවින් ප්‍රේමණීයයනි, මේ ගැන කල්තියා ම ඔබ දන්නා බැවින් නොපනත් මිනිසුන්ගේ වරදින් මුළාව නො යා, ඔබගේ ස්ථාවරත්වයෙන් ඇද නො වැටෙන්නට වග බලා ගන්න. 18තවද අපගේ ස්වාමියාණන් ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේත්, දැනගැන්මෙත් වැඩි වර්ධනය වන්න.
දැනුත්, සදහටත් උන්වහන්සේට තේජෝ මහිම වේවා! ආමෙන්.
දැනට තෝරාගෙන ඇත:
2 පේතෘස් 3: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.