2 පේතෘස් 1
1
1යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද අපෝස්තුලුවරයකු ද වූ සීමොන් පේතෘස් වෙතිනි.
අපගේ දෙවියන්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මගින්, අප ලබා ඇති සේ එක සමාන අනර්ඝ ඇදහිල්ලක් ලද්දවුන් වෙතයි.
2දෙවියන්වහන්සේ ද යේසුස් අප ස්වාමින්වහන්සේ ද දැන-හැඳිනගැනීම තුළින් අනුග්‍රහයත්, සාමයත් වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා!
කැඳවීම සහ තෝරා ගැනීම
3ජීවිතයටත්, දේව භක්තියටත් අදාළ හැම දෙයක් ම උන්වහන්සේගේ දිව්‍ය-බලය අපට ප්‍රදාන කොට ඇත්තේ, ස්වකීය තේජෝ මහිමයෙන් හා විශිෂ්ටත්වයෙන් අප කැඳවූ තැනැන්වහන්සේ දැනගැන්ම තුළිනි. 4එතුළින් උන්වහන්සේ අනර්ඝ වූත්, අති ශ්‍රේෂ්ඨ වූත් තම පොරොන්දු අපට දී ඇත්තේ, පාපී තෘෂ්ණා විසින් උපදවනු ලබන ලෝකයේ දූෂ්‍යතා වෙතින් ගැලවී ගොස්, ඒ පොරොන්දු උපයෝගී කර ගෙන, ඔබ දිව්‍ය ස්වභාවයේ පංගුකරුවන් වන පිණිස ය.
5මේ හේතුව නිසා, හැම උත්සාහයක් ම දරමින් ඔබේ ඇදහිල්ලට සදාචාරය ද සදාචාරයට දැනගැන්ම ද 6දැනගැන්මට ආත්ම සංයමය ද ආත්ම-සංයමයට නො පසුබට වීර්යය ද නො පසුබට වීර්යයට භක්තිවන්තකම ද 7භක්තිවන්තකමට සහෝදර සෙනෙහස ද සහෝදර සෙනෙහසට ප්‍රේමය ද එක් කර ගන්න. 8මෙම ගුණාංග ඔබට හිමි ව, නිති වැඩේ නම්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ දැනගැන්ම නිෂ්ඵල වීමට හෝ නිස්සාර වීමට ඒවා ඉඩ නො දෙනු ඇත. 9එහෙත් යමකුට මෙම ගුණදම් නොමැති නම්, ඔහු දුර නො පෙනෙන අන්ධයෙකි. කලින් කළ පාපවලින් තමන් සෝදා පවිත්‍ර කරනු ලැබූ වග ඔහු අමතක කර ඇත.
10එබැවින් මා සහෝදරයිනි, ඔබගේ කැඳවීමත්, තෝරාගැන්මත් සහතික කරන පිණිස, වඩ වඩා උත්සුක වන්න. ඔබ එසේ ක්‍රියා කරනවා නම් කිසි දින ඔබ පැකිළෙන්නේ නැත. 11මෙසේ අපගේ ස්වාමින්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාතන රාජ්‍යයට පිවිසීමේ ඉහළ පිළිගැනීමක් ද ඔබට හිමි වේ.
දිවැස්වැකි-ශුද්ධ ලියවිලි
12මේ දෑ ඔබ දනිතත්, දැනට ඔබ අත්කර ගෙන ඇති සත්‍යතාවෙහි ඔබ ස්ථාවර ව පිහිටා සිටිතත් මෙසේ මම නිරතුරු මේ දෑ ඔබට සිහි කරමි. 13මා සිතන්නේ මේ ශාරීරික කූඩාරමේ මා ජීවත් වන තාක් ඔබට මේ දෑ සිහිගැන්වීම යුතු ය කියා ය. 14මන්ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ පහදා දී ඇති පරිදි මේ ශාරීරික කූඩාරම මා නොපමාව හැර යන වග මම දනිමි. 15එබැවින් මගේ ඇවෑමෙන් පසුවත් නිරතුරු මේ දෑ ඔබට මතක් කර ගනු හැකි වන පිණිස හැකි හැම වෑයමක් ම දරමි.
16යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ බලයත්, පැමිණීමත් ගැන අප ඔබට පැවසූ කල, අප එසේ කළේ ප්‍රයෝගයෙන් ගෙතූ ප්‍රබන්ධ අනුව නො වේ. උන්වහන්සේගේ මහිමශ්‍රීය ඇසින් දුටු සාක්ෂිකරුවෝ අප ම ය. 17මන්ද, “මගේ ප්‍රේමණීය පුත්‍රයාණෝ මොහුයි. මොහු කෙරේ මම බොහෝ ප්‍රසාද ව සිටිමි”#1:17 මතෙ 17;5; මාර්ක් 9;7; ලූක් 9:35 යි කියැවුණු හඬක් මහානුභා තේජස වෙතින් පැමිණි කල උන්වහන්සේ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත්, මහිමයත් ලැබූ සේක. 18උන්වහන්සේ සමඟ ඒ ශුද්ධ කන්දේ සිටියදී ස්වර්ගයෙන් පැමිණි එම කටහඬ අපි අපේ ම කනින් ඇසීමු.
19වඩාත් සත්‍ය වගට තහවුරු වූ දිවැස් වැකි අපට තිබේ. දවස උදා වී, පහන් තරුව ඔබේ හදේ පායන තෙක් අඳුරු තැනක බබළන පහනක් සේ, ඒවා වෙත ඔබේ අවධානය යොමු කිරීම වටී. 20ශුද්ධ ලියවිල්ලේ කිසි දිවැස්වැකියක් යමකුගේ අදහසකට අනුව හට නො ගන්නා වග සියල්ලට ම පළමු ඔබ වටහා ගත යුතු ය. 21මන්ද යම් දිවැස්වැකියක් කොහෙත් ම මිනිසාගේ හිතු මනාපයට උත්පාද නො වේ. ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පොලඹවනු ලැබූ කල මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගෙන් ලැබුණු වචන කතා කළහ.
දැනට තෝරාගෙන ඇත:
2 පේතෘස් 1: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.