2 රාජාවලිය 22

22
යූදාහි යොෂීයා රජු
1යොෂීයා රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු අටකි. ඔහු අවුරුදු තිස්එකක් යෙරුසලමේ රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම යෙදීදා ය. ඇය බොස්කත්හි අදායාගේ දියණියයි. 2ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි ව තිබූ දේ කළේ ය. තම පියා වූ දාවිත්ගේ සියලු මාර්ගවල යමින්, ඔහු ඉන් දකුණටවත්, වමටවත් හැරුණේ නැත.
3යොෂීයා රජු තමාගේ රාජ්‍ය පාලනයේ දහඅට වන වසරේ මෙෂුල්ලාම්ගේ පුත් අසලියාගේ පුත් ලේකම්වරයා වූ ෂාෆාන්, ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත යවමින්, 4“උත්තම පූජක හිල්කීයා වෙත යන්න. ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත ගෙනෙන ලද, දොරටුපාලයින් විසින් මිනිසුන්ගෙන් එකතු කළ මුදල් සූදානම් කර තබන ලෙස ඔහුට කියන්න. 5එම මුදල් ස්වාමින්වහන්සේගේ ගෘහයේ වැඩ පරීක්ෂා කිරීමට පත් වූ මිනිසුන්ට භාර දේවා. ඔවුන් එම මුදලින් ස්වාමින්වහන්සේගේ ගෘහය පිළිසකර කරන වැඩකරුවන් වන 6වඩුවන්ට, ගොඩ නගන්නන්ට සහ පෙදරේරුවන්ට ගෙවිය යුතු ය. ගෘහය පිළිසකර කිරීමට අවශ්‍ය දැව හා කැපූ ගල් ඒ මුදලින් ඔවුන් මිල දී ගත යුතු ය. 7එහෙත් ඔවුන්ට බාර දෙන මුදල් පිළිබඳව ගණන් තැබීමක් අවශ්‍ය නො වේ. මන්ද ඔවුහු විශ්වසනීය ව කටයුතු කරති” යි කීවේ ය.
8උත්තම පූජක හිල්කීයා, ලේකම්වරයා වූ ෂාෆාන් අමතා, “ස්වාමින්වහන්සේගේ ගෘහයේදී ව්‍යවස්ථා පොත මට සම්බවිණි” යි පවසා, එය ෂාෆාන්ට දුන්නේ ය. ඔහු එය කියැවී ය. 9එවිට ලේකම්වරයා වූ ෂාෆාන්, රජු වෙත ගොස්, “ඔබේ සේවකයන් ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ තිබූ මුදල් එකතු කර, ඒවා ගෘහයේ වැඩකරුවන් හා වැඩ පරීක්ෂකයින් අතට බාර දුන්නේ යැ” යි සැල කළේ ය. 10ඉන්පසු ලේකම්වරයා වූ ෂාෆාන්, “පූජක හිල්කීයා මට පොතක් දුන්නේ යැ” යි රජුට දන්වා සිටියේ ය. තවද ෂාෆාන්, රජු අබියස එය කියැවී ය.
11රජු ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල, තම හැඳිවත් ඉරා ගත්තේ ය. 12ඔහු පූජක හිල්කීයාට ද ෂාෆාන්ගේ පුත් අහිකාම්ට ද මීකායාගේ පුත් අක්බෝර්ට ද ලේකම්වරයා වූ ෂාෆාන්ට ද රජුගේ සේවක අසායාට ද නියෝග කරමින්, 13“යන්න, හමු වූ පොතේ සඳහන් දෑ පිළිබඳව මා උදෙසාත්, මගේ ජනයා උදෙසාත්, මුළු යූදා උදෙසාත් ස්වාමින්වහන්සේගෙන් විමසන්න. අපගේ පියවරුන් මේ පොතේ සඳහන් වචනවලට කීකරු නො වූ බැවින් අපට එරෙහිව ඇවිළ ඇති ස්වාමින්වහන්සේගේ උදහස අති මහත් ය; අප ගැන එහි ලියා ඇති සියල්ලට අනුව ඔවුන් ක්‍රියා කර නැතැ” යි පැවසී ය.
14පූජක හිල්කීයා ද අහිකාම් ද අක්බෝර් ද ෂාෆාන් හා අසායා ද හුල්දා දිවැසිවරියට කතා කරන්නට ඇය වෙත ගියහ. යෙරුසලමේ දෙවන වසමේ විසූ ඈ තොමෝ හර්හස්ගේ පුත්, තික්වාගේ පුත්, ඇඳුම් ආයිත්තම් භාරකරු වූ ෂල්ලූම්ගේ බිරිඳ වූවා ය.
15ඈ ඔවුන් අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේකැයි මා වෙත ඔබ එවූ මිනිසාට කියන්න: 16ස්වාමින්වහන්සේ පවසා සිටින්නේ: යූදා රජු කියවූ පොතේ සඳහන් සියල්ලට අනුව මේ ස්ථානයටත්, එහි වෙසෙන ජනයා පිටටත් මම විපත්තිය පමුණු වන්නෙමි. 17මන්ද ඔවුහු මා අත්හැර දමා, වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළහ. ඔවුන්ගේ අත්වලින් සෑදූ සියලු දේවතා පිළිම මගින්#22:17 හෙවත් ඔවුන්ගේ අත්වල සියලු ක්‍රියාවලින් මා කෝප ගැන් වූ බැවින්, මේ ස්ථානයට එරෙහිව මගේ උදහස ඇවිළෙනු ඇත. එය නිවා දැමෙන්නේ නැතැ’ යි යනුවෙනි. 18ස්වාමින්වහන්සේගෙන් විමසන පිණිස ඔබ එවූ යූදාහි රජුට මෙසේ කියන්න: ‘ඔබ ඇසූ වචන සම්බන්ධ ව ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසා සිටින්නේ: 19මේ ස්ථානය ආලාපාළු වී, එහි ජනතාව ශාපයක් වන්නේ යැයි මේ ස්ථානයටත්, එහි ජනයාටත් එරෙහිව මා පැවසූ වචනය ඔබ ඇසූ කල, ඔබ හදවතින් ප්‍රතිචාර දක්වා, ස්වාමින්වහන්සේ අබියස ඔබ ම යටහත් වූ බැවින්, ඔබේ හැඳිවත් ඉරාගෙන මා අබියස වැලපුණු බැවින් මමත් ඔබට සවන් දුනිමියි ස්වාමින්වහන්සේ පවසන සේක. 20එබැවින් මම ඔබේ පියවරුන් අතරට ඔබ එකතු කරන්නෙමි. සමාදානය ඇතුව ඔබ මිනී වළට යනු ඇත. මා මේ ස්ථානයට පමුණු වන්නට යන විපත්තිය ඔබේ ඇස්වලින් දකින්නේ නැත’ කියා යැ” යි පැවසුවා ය.
එබැවින් ඔවුහු ඇගේ පිළිතුර රැගෙන රජු වෙත ආපසු ගියහ.

දැනට තෝරාගෙන ඇත:

2 රාජාවලිය 22: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න