2 රාජාවලිය 21

21
යූදාහි මනස්සේ රජු
1මනස්සේ රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු දොළහක් විය. ඔහු අවුරුදු පනස්පහක් යෙරුසලමෙහි රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම හෙෆ්සීබා ය. 2ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයා ඉදිරිපිටින් පන්නා දමා තිබූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින්, ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු දේ කළේ ය. 3ඔහු තම පියා වූ හෙසකියා විනාශ කර තිබූ උස් තැන් පුදසුන් යළි ඉදි කළේ ය. ඔහු ද බාල් දෙවියාට පූජාසන තනා, ඉශ්‍රායෙල් රජු වූ ආහාබ් කර තිබූ පරිදි අෂේරා කණුවක් සෑදී ය. ඔහු මුළු අහස් සේනාවට නමස්කාර කරමින්, ඒවාට මෙහෙ කළේ ය. 4“මගේ නාමය යෙරුසලමේ තබමි” යි ස්වාමින්වහන්සේ පවසා තිබූ ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ ඔහු පූජාසන ඉදි කළේ ය. 5ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහයේ දෙමළුවේ ම සියලු අහස් සේනාවනට පූජාසන ඉදි කළේ ය. 6ඔහු තමාගේ ම පුත්‍රයා ගින්නෙන් යාග කොට, ශාස්ත්‍ර බැලීමෙහි ද නිමිති බැලීමෙහි ද නියැළුණේ ය. ඔහු ආත්ම බන්ධනකරුවන් හා පේන කියන්නන් විමසී ය. ඔහු ස්වාමින්වහන්සේ කෝප කරවමින්, උන්වහන්සේගේ ඇස් හමුවෙහි බොහෝ නපුරු දේ කළේ ය.
7තමා සාදා තිබූ කැටයම් අෂේරා කණුව ඔහු ගෘහය තුළ පිහිටුවේ ය. ස්වාමින්වහන්සේ එම ගෘහය ගැන දාවිත්ටත්, ඔහුගේ පුත් සාලමොන්ටත් කතා කොට, “මේ ගෘහයෙහි ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ සියල්ලෙන් මා තෝරාගත් යෙරුසලමෙහි ද මගේ නාමය සදහට ම තබන්නෙමි. 8මා අණ කළ සියල්ල කරන්නට ඔවුන් වග බලා ගන්නේ නම්, මගේ සේවක මෝසෙස් ඔවුන්ට දුන් මුළු ව්‍යවස්ථාව ඔවුන් පිළිපදින්නේ නම් පමණක් ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයෙන් ඔවුන්ගේ පා මුළාව යන්නට මම ඉඩ නාරින්නෙමි” යි පවසා තිබිණ. 9එහෙත් ජනයා කන් දුන්නේ නැත. මනස්සේ ඔවුන් මුළා කරවී ය. එබැවින් ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරිපිටින් විනාශ කර දමා තිබූ ජාතීන්ට වඩා ඔවුහු නපුරු දේ කළෝ ය.
10 ස්වාමින්වහන්සේ තම සේවක දිවැසිවරුන් මගින් මෙසේ පැවසූ සේක: 11“යූදා රජු වූ මනස්සේ මේ සියලු පිළිකුල් පාප කළේ ය. ඔහුට පෙර සිටි අමෝරිවරුන්ට වඩා බොහෝ නපුරු දේ ඔහු කළේ ය. ඔහු තම දේව පිළිමවලින් යූදා ජනයා පාපයට ඇද දැමී ය. 12එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මා යෙරුසලම හා යූදා වෙත පමුණු වන්නට යන විපත්තිය ගැන අසන සියල්ලන්ගේ කන් පුපුරු ගසනු ඇත. 13මම සමාරියට එරෙහිව භාවිත කළ මිනුම් ලණුව හා ආහාබ් වංශයට එරෙහිව භාවිත කළ ලඹය, යෙරුසලම පුරා ද දිග හරින්නෙමි. කෙනකු දීසියක් පිස දමා එය මුණින් හරවා තබන්නා සේ මම යෙරුසලම පිස දමන්නෙමි. 14මගේ උරුමයේ ඉතිරි ස්වල්ප දෙනා අතහැර, ඔවුන්ගේ සතුරු සියල්ලන් අතට මම ඔවුන් හසුකර දෙන්නෙමි. ඔවුන්ගේ සතුරන් විසින් ඔවුන් කොල්ලකනු ලබන්නේ ය; පැහැර ගනු ලබන්නෝ ය. 15මන්ද ඔවුන් මගේ ඇස් හමුවෙහි නපුරු දෑ කර තිබේ. ඔවුන්ගේ පියවරුන් ඊජිප්තුවෙන් පිටතට පැමිණි දවසේ සිට අද දවස දක්වා ඔවුන් මා කෝප ගැන්වී ය.”
16තවද මනස්සේ නිදොස් ලේ බොහෝ සේ වගුරුවා, එක් කොනක සිට අනෙක් කොන දක්වා යෙරුසලම ලෙයින් පිරවී ය. ඊට අමතරව ඔහු යූදා ජනයා පාපයට ඇද දැමූ බැවින් ඔවුහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කළෝ ය.
17මනස්සේ සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඔහු කළ පාප ද යූදා රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 18මනස්සේ තම පියවරුන් සමඟ සැතපී තම රජ මැදුරු උද්‍යානයේ හෙවත් උස්සාගේ උද්‍යානයේදී භූමදාන කෙරිණ. ඔහු වෙනුවට ඔහුගේ පුත් ආමොන් රජකමට පත් විය.
යූදාහි ආමොන් රජු
19ආමොන් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිදෙකක් විය. ඔහු යෙරුසලමෙහි අවුරුදු දෙකක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම මෙෂුල්ලෙමෙත් ය. ඇය යොට්බාහි හාරුස්ගේ දියණිය ය, 20ඔහු තම පියා වූ මනස්සේ කළ පරිද්දෙන්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කළේ ය. 21ඔහු ගමන් කළේ තම පියාගේ මාර්ගයේ ම ය; තම පියා නමස්කාර කළ පිළිමවලට ඔහුත් වැඳ පුදා, නමස්කාර කළේ ය. 22ඔහු තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත්හළේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ මාර්ගයේ ගියේ නැත.
23ආමොන්ගේ නිලධාරීහු ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කර, තම නිවස තුළදී රජු මරා දැමූහ. 24එවිට දේශයේ ජනයා ආමොන් රජුට එරෙහිව කුමන්ත්‍රණ කළ සියල්ලන් මරා, ඔහුගේ පුත් යොෂීයා ඔහු වෙනුවට රජකමට පත් කළහ.
25ආමොන් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ ද යූදා රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 26ඔහු භූමදාන කරන ලද්දේ උස්සාගේ උයනේ වූ ඔහුගේ ම සොහොනේ ය. ඔහු වෙනුවට ඔහුගේ පුත් යොෂීයා රජකමට පත් විය.

දැනට තෝරාගෙන ඇත:

2 රාජාවලිය 21: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න