2 රාජාවලිය 20

20
හෙසකියා රෝගී වෙයි
1එදවස්හි හෙසකියා රෝගී ව, මරණාසන්න විය. ආමෝස්ගේ පුත් දිවැසිවර යෙසායා ඔහු වෙත ගොස්, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබේ ගේ-දොර කටයුතු පිළිවෙලක් කරන්න. මන්ද ඔබ මියෙනු ඇත. ඔබ සුව වන්නේ නැතැ’ යි” පැවසී ය.
2එවිට හෙසකියා තම මුහුණ බිත්තිය දෙසට හරවා, ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, 3“අහෝ ස්වාමින්වහන්ස, විශ්වාසවන්තකමින් ද මුළු හදවතින් ද මා ඔබවහන්සේ ඉදිරියේ පැවතුණු අයුරු හා ඔබගේ ඇස් හමුවේ යහපත කළ අයුරු සිහි කළ මැනව” කියා, මහත් සොවින් හැඬී ය.
4යෙසායා මැද මිදුල හැර යන්නට පෙර ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණියේ ය: 5“ආපසු හැරී, මගේ ජනයාගේ පාලකයා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පිය දාවිත්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම ඔබේ යාච්ඤාව ඇසීමි. ඔබේ කඳුළු දුටිමි. මම ඔබ සුවපත් කරන්නෙමි. තුන් වන දිනයේදී ඔබ ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත යන්නේ ය. 6මම ඔබේ ජීවිතයට පහළොස් වසරක් එකතු කරන්නෙමි. අසිරියාවේ රජු අතින් ඔබත්, මේ පුරවරයත් මම ගලවන්නෙමි. මා නිසාත්, මගේ සේවක දාවිත් නිසාත් මම මේ පුරවරය සුරකින්නෙමි’ යි කියා කියන්නැ” යි ඉන් පැවසිණ.
7එවිට යෙසායා, “අත්තික්කා කැටියක් පිළියෙල කරන්නැ” යි පැවසී ය. ඔවුහු එය සාදා, එය ගඩුව මත තැවරී ය. ඔහු සුවපත් විය.
8හෙසකියා, යෙසායා අමතා, “ස්වාමින්වහන්සේ මා සුව කරන වගටත්, තුන් වන දවසේදී මා ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත යන වගටත් ඇති ලකුණ කිමෙක් දැ” යි ඇසී ය.
9යෙසායා පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ පොරොන්දු වූ දේ ඉටු කරන වගට ඔබට දෙන ස්වාමින්වහන්සේගේ ලකුණ මෙන්න: සෙවණැල්ල පියවර දහයක් ඉදිරියට යා යුතු ද? පියවර දහයක් ආපස්සට යා යුතු දැ?” යි ඇසී ය.
10“සෙවණැල්ල පියවර දහයක් ඉදිරියට යෑම සුළු දෙයක්. එසේ නො ව එය පියවර දහයක් ආපස්සට යේවා” යි හෙසකියා පැවසී ය.
11එවිට දිවැසිවර යෙසායා, ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. එවිට ස්වාමින්වහන්සේ, ආහාස්ගේ පඩි පෙළේ බැස ගිය සෙවණැල්ල පියවර දහයකින් ආපස්සට යන්නට සැලසූ සේක.
බබිලෝනි රාජ දූතයෝ
12ඒ කාලයේ බලදාන්ගේ පුත්, බබිලෝනියේ රජු වූ මොරොදක්-බලදාන්, හෙසකියාගේ රෝගය ගැන අසා තිබූ බැවින්, හෙසකියා වෙත ලිපි ද ත්‍යාගයක් ද එවී ය. 13පණිවුඩකරුවන් පිළිගත් හෙසකියා, තම ගබඩා ගෙවල තිබූ දෑ වන රිදී, රන් හා කුළු බඩු ද අගනා තෙල් ද තම අවි-ආයුධ ද තම ගබඩාවල වූ හැම දෙයක් ම ද ඔවුනට පෙන්වී ය. හෙසකියා ඔවුනට නො පෙන් වූ කිසිවක් ඔහුගේ රජ මැදුරේ වත්, ඔහුගේ මුළු රාජ්‍යයෙහි වත් නො වී ය.
14එවිට දිවැසිවර යෙසායා, හෙසකියා රජු වෙත ගොස්, “ඒ මිනිසුන් කීවේ මොනවා ද? ඔවුන් ආවේ කොහි සිට දැ?” යි ඇසී ය.
හෙසකියා පිළිතුරු දෙමින්, “ඔවුන් ආවේ දුර රටකිනි; බබිලෝනිය වෙතිනි” යි කීවේ ය.
15“ඔබේ මාලිගය තුළ ඔවුන් දැක්කේ මොනවා දැ?” යි යෙසායා ඇසී ය.
“මගේ මාලිගයේ ඇති හැම දෙයක් ම ඔවුන් දැක්කා; මා ඔවුන්ට නො පෙන් වූ කිසිවක් මගේ ගබඩා ගෙවල් අතර නැතැ” යි හෙසකියා පැවසී ය.
16එවිට හෙසකියා ඇමතූ යෙසායා, “ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න: 17ඔන්න, ඔබේ ගෘහයේ ඇති හැම දේත්, මේ දවස දක්වා ඔබේ පියවරුන් විසින් එක් රැස් කරන ලද සියල්ලත් බබිලෝනියට ගෙන යනු ලබන කාලය එළැඹෙන්නේ ම ය. එයින් කිසිවක් ම ඉතිරි නො වනු ඇතැයි ස්වාමින්වහන්සේ පවසන සේක. 18ඔබෙන් පැවත එන්නන් වන ඔබට දාව උපදින ඔබේ ම පුතුන් ඇතැම් දෙනකු, ගෙන යනු ලැබ, ඔවුන් බබිලෝනියේ රජුගේ මාලිගයේ නපුංසකයින් බවට පත් වන්නේ යැ” යි පැවසී ය.
19“ඔබ පැවසූ ස්වාමින්වහන්සේගේ වචනය යහපතැ” යි හෙසකියා, යෙසායාට කීවේ ය. මන්ද, “මගේ ජීවිත කාලය තුළ සාමයත්, සුරක්ෂිත භාවයත් පවතිනු නො වේ දැ” යි ඔහු සිතී ය.
20හෙසකියා සම්බන්ධ සෙසු කාරණා ද ඔහුගේ සියලු බලවත් ක්‍රියා ද ඔහු පොකුණ හා උමඟ සාදා, පුරවරය තුළට වතුර ගෙනා අයුරු ද යූදා රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 21හෙසකියා තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු වෙනුවට ඔහුගේ පුත් මනස්සේ රජකමට පත් විය.

දැනට තෝරාගෙන ඇත:

2 රාජාවලිය 20: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න