2 රාජාවලිය 19

19
යෙසායාගේ අනාවැකිය
1හෙසකියා රජු ඒ ඇසූ කල, තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඇඟ දවටා, ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුළු විය. 2තවද ගෝණි රෙදි හැඳි රජ මැදුරු පාලක එලියාකීම් ද ලේකම්වරයා වූ ෂෙබ්නා ද ප්‍රධාන පූජකයින් ද ඔහු ආමෝස්ගේ පුත්‍ර දිවැසිවර යෙසායා වෙත පිටත් කළේ ය. 3ඔවුහු ඔහු අමතා, “හෙසකියා මෙසේ කියයි: ‘අද දවස විපත්තියේ, තරවටුවේ හා නින්දාවේ දවසක්; දරුවන් උපදින මොහොතට පැමිණ ඇති නමුත් ඔවුන් බිහි කරන්නට ශක්තිය නැත. 4ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්නට, ඔහුගේ ස්වාමියා වන අසිරියාවේ රජු විසින් එවන ලද ක්ෂේත්‍ර අණ දෙන්නාගේ සියලු වචන ඇතැම් විට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අසන්නට ඇත. ඇතැම් විට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඇසූ වදන් ගැන උන්වහන්සේ ඔහුට තරවටු කරනු ඇත. එබැවින් තවමත් ජීවත් ව සිටින ඉතිරි ස්වල්ප දෙනා උදෙසා යාච්ඤාව ඔසවන්න’ කියා කියතැ” යි පැවසූහ.
5හෙසකියා රජුගේ නිලධාරීන් යෙසායා වෙත ආ කල, 6ඔවුන් ඇමතූ යෙසායා, “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක කියා ඔබේ හාම්පුතාට කියන්න: ‘ඔබ ඇසූ දෑ ගැන, අසිරියාවේ රජුගේ සේවකයින් මට කළ අපහාසයේ වචන ගැන, භය නො වන්න. 7ඔන්න! කිසියම් ආරංචියක් අසා තමාගේ ම රටට ආපසු හැරී යන පිණිස, මම ඔහු තුළ ආත්මයක් තබමි. ඔහුගේ ම දේශයේදී ඔහු කඩු මුවහතින් වැටෙන්නට මම සලස්වන්නෙමි’ යි” පැවසී ය.
8අසිරියාවේ රජු ලාකීෂ් පෙදෙස හැර ගොස් ඇති වග ක්ෂේත්‍ර අණ දෙන්නාට සැල වූයෙන්, ඔහු ආපසු ගියේ ය. රජු ලිබ්නා පුරයට එරෙහිව සටන් වැද සිටිනු ඔහුට හමු විණි.
9එකල කූෂීය#19:9 කූෂ් යනු ඉහළ නයිල් කලාපයයි (ඊජිප්තුවට දකුණින්). රජු වූ තිර්හාකා පිළිබඳව, “ඔබට එරෙහිව සටන් වදින්නට ඔහු පිටත් ව එන්නේ ය” යන පුවතක් සෙනකෙරීබ් රජුට ලැබිණ. එබැවින් ඔහු නැවතත් හෙසකියා රජු වෙත පණිවුඩකරුවන් පිටත් කර, මෙසේ දැන්වී ය. 10“යූදාහි රජු වූ හෙසකියාට ඔබ මෙසේ කියන්න: ‘අසිරියාවේ රජු අතට යෙරුසලම යටත් කර දෙනු නො ලැබේ ය’ කියමින් ඔබ රවටන්නට ඔබ විශ්වාසය තබන දෙවියන්වහන්සේට ඉඩ නො දෙන්න. 11මෙන්න, අසිරියාවේ රජුන් හැම රටක් ම විනාශයට කැප කරමින්, ඒවාට කළ හදිය ගැන ඔබ අසා ඇත. ඉදින්, ඔබට ගැලවිය හැකි වේ ද? 12මගේ පියවරුන් විනාශ කළ ජාතීන්ගේ දෙවිවරුන් වන ගෝසාන්, හාරාන්, රෙසෙෆ් හා තෙලස්සාර්හි එදෙන් ජනයාගේ දෙවිවරුන් ඔවුන් මුදා ගත්තා ද? 13හමාත්හි රජු කොහේ ද? අර්පාද්හි රජු කොහේ ද? සෙෆර්වයිම් පුරෙහි රජු හෝ හේනාහි හෝ ඉව්වාහි හෝ රජුන් කොහේ ද?”
හෙසකියාගේ යාච්ඤාව
14පණිවුඩකරුවන් වෙතින් ලිපිය ගත් හෙසකියා එය කියවී ය. ඉන්පසු හෙසකියා ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි එය දිග හළේ ය. 15හෙසකියා ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ! ස්වාමින්වහන්ස, කෙරුබ්වරුන් මැද සිංහාසනාරූඪ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන්ට දෙවියන්වහන්සේ ඔබ ය. ඔබ පමණක් ම ය. අහසත්, පොළොවත් මැවුවේ ඔබවහන්සේ ය. 16සවන් දී අසන්න, අහෝ ස්වාමින්වහන්ස; ඔබේ ඇස් විවර කර බලන්න, අහෝ ස්වාමින්වහන්ස; ජීවමාන දෙවියන්වහන්සේට නිග්‍රහ කරමින් සෙනකෙරීබ් විසින් එවන ලද වචනවලට සවන් දෙන්න.
17“අහෝ ස්වාමින්වහන්ස, ඒ ජනයින් හා ඔවුන්ගේ දේශ අසිරියාවේ රජුන් විසින් වනසා දමන ලද වග සැබෑ ය. 18ඔවුහු ඒ ජාතීන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුෑහ. මන්ද ඔවුන් දෙවිවරුන් නො වෙයි. මිනිස් අතින් නිමැවුණු ලී හා ගල් පමණක් ම ය. එබැවින් ඔවුහු විනාශ කරන ලදහ. 19එබැවින් දැන් අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන් ස්වාමින්වහන්සේ වන ඔබ පමණක් දෙවියන්වහන්සේ වග දැනගන්නා පිණිස, ඔහු අතින් අප මුදා ගත මැනව” යි ඉල්ලී ය.
සෙනකෙරීබ්ගේ වැටී යෑම
20එවිට ආමෝස්ගේ පුත් යෙසායා, හෙසකියා වෙත පණිවුඩයක් යැවී ය: “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: අසිරියාවේ රජු වන සෙනකෙරීබ් සම්බන්ධ ව ඔබ කළ යාච්ඤාව මම ඇසීමි, 21ඔහුට එරෙහිව ස්වාමින්වහන්සේ පැවසූ වචනය මෙසේ ය:
“ ‘ඇය ඔබ සුළු කොට තකන්නී ය;
සියොන් කන්‍යා දියණිය ඔබට සමච්චල් කරන්නී ය.
නුඹ පිටුපා යන කල,
යෙරුසලම් දියණිය ඇගේ හිස වනන්නී ය.
22නුඹ නිග්‍රහ කළේ කවරකුට ද? අපහාස කළේ කවරකුට ද?
නුඹ, නුඹේ කටහඬ අවදි කළේත්,
උඩඟුවෙන් නුඹේ ඇස් එසවූයේත් කවරකුට එරෙහිව ද?
ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේට එරෙහිව ය.
23නුඹේ පණිවුඩකරුවන් ලවා
නුඹ ස්වාමින්ට එරෙහිව නිග්‍රහ කරමින්,
මෙසේ කියා ඇත,
“බොහෝ වූ මගේ යුද්ධ රථ සමඟ
මම කඳු මුඳුන් වෙත,
ලෙබනොනයේ ඈත මුදුන්වලට නැගුණෙමි.
එහි උස ම දේවදාර ගස් ද
ඉතා සරු සයිප්‍රස් ගස් ද මම කපා දැමුවෙමි.
එහි දුරස්තර කෙළවර ඇති නවාතැන්පොළටත්,
එහි පල සහිත වනයටත් ඇතුල් වුණෙමි.
24පිට දේශවල මම ළිං කැණ,
ඒවායේ දිය බීවෙමි.
මගේ පයේ යටි පතුලින්
ඊජිප්තුවේ සියලු ඇළදොළ ගං මම හින්දෙව්වෙමි.”
25“ ‘නුඹ අසා නැද්ද?
මා එය නියම කළේ, දිගු කලකට ඉහතදී වග;
මා එය සැලසුම් කළේ පුරාණ දවස්හි දී ය.
දැන් මම ඒවා ඉටුවන්නට සලස්වන්නෙමි.
ඒවා නම්, පවුරු සහිත නගර,
නුඹ විසින් නටබුන් ගොඩවල් බවට පත් කරනු ලැබීම ය.
26ඔවුන්ගේ ජනයා ශක්තියෙන් හීන කරනු ලදුව,
කැලඹීමට හා ලජ්ජාවට පමුණුවනු ලැබ ඇත.
ඔවුන් පිට්ටනියේ පැළෑටි වැන්න.
ළපටි තෘණ වැන්න.
පියස්ස මත දළු ලා එන,
එහෙත් වැඩෙන්නට පළමු, දැවී මැලවෙන තෘණ වැන්න.
27“ ‘එහෙත් නුඹේ හිඳ සිටීමත්,
නුඹේ පිටත යෑමත්, ඇතුළට ඊමත්,
මට එරෙහිව ඇති නුඹේ වියරු කෝපයත් මම දනිමි.
28මට එරෙහිව ඇති නුඹේ වියරු කෝපය නිසාත්,
නුඹේ අහංකාරය මා සවන් වැකී ඇති නිසාත්,
මම, මගේ කොක්ක නුඹේ නාසයෙහි ද
මගේ කටකලියාව නුඹේ මුවෙහි ද ලා,
නුඹ ආ මාර්ගයෙන් ම
මම නුඹ ආපසු යවන්නෙමි.’
29“මෙය නුඹට ලකුණක් වෙයි:
“මේ වසරේ ඉබේ හටගත් දෑ ඔබ අහරට ගනු ඇත.
දෙවන වසරේදී එයින් පැන නගින දෑ අහරට ගනු ඇත.
එහෙත් තෙවන වසරේ, වපුරා කපා ගන්න.
මිදි වතු වවා, ඒවායේ පල කන්න.
30යළිත් වරක්, යූදා වංශයේ ඉතිරි ස්වල්ප දෙනකු
යටින් මුල් ඇද, උඩින් පල දරනු ඇත.
31මන්ද ඉතිරි ස්වල්ප දෙනකු යෙරුසලමෙන් ද
ජීවත් ව ඉතිරි වූ කණ්ඩායමක් සියොන් කන්දෙන් ද නික්මෙනු ඇත.
“සේනාංකවල ස්වාමින්වහන්සේගේ උද්වේගය මෙය ඉටු කරනු ඇත.
32“එබැවින් අසිරියාවේ රජු ගැන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ ‘ඔහු මේ නගරයට ඇතුළු වන්නේවත්,
හීයක් මෙහි විදින්නේවත් නැත.
ඔහු පලිස් දරා මේ ඉදිරියට එන්නේවත්,
ඊට එරෙහිව වැටලුම් ගොඩැලි තනන්නේවත් නැත.
33ආ මාර්ගයෙන් ම ඔහු ආපසු යනු ඇත.
මේ නගරයට ඔහු ඇතුළු වන්නේ නැතැයි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
34මගේ ම නාමය උදෙසාත්, මගේ සේවක දාවිත් උදෙසාත්
මම මේ පුරවරය ආරක්ෂා කර, මුදා ගන්නෙමි.’ ”
35එම රාත්‍රියේ ස්වාමින්වහන්සේගේ දූතයා පිටත් ව ගොස්, අසිරියාවේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනකු ගසා හෙළී ය. පසු දා උදෑසන ජනයා පිබිදුණු කල එහි වූ සියල්ලෝ මළ කඳන් ව සිටියහ. 36එබැවින් අසිරියාවේ රජු වූ සෙනකෙරීබ් කඳවුර අතහැර පසුබැස්සේ ය. ඔහු නිනිවයට ආපසු ගොස් එහි විසී ය.
37දිනක් ඔහු නිස්රොක් නම් වූ තම දෙවියන්ගේ දෙවොලේ නමදිමින් සිටියදී, ඔහුගේ පුතුන් වූ අද්‍රම්මෙලෙක් හා සරෙසෙර් කඩු මුවහතින් ඔහු ගසා හෙළා, අරාරට් දේශයට පලා ගියහ. ඔහුගේ පුත් ඒසර්-හද්දොන් ඔහුගෙන් පසුව, රජකමට පත් විය.

දැනට තෝරාගෙන ඇත:

2 රාජාවලිය 19: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න