2 ලේකම් 13
13
යූදාහි අබියා රජු
1යෙරොබොවම් රජුගේ දහඅට වන අවුරුද්දේ අබියා, යූදාහි රජකම් කරන්නට පටන් ගත්තේ ය. 2ඔහු යෙරුසලමෙහි තුන් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම මීකායා#13:2 මීකායා ග්‍රීක සහ සිරියැක් පරිවර්තන ද 1 රාජා 15;2 සහ 2 ලේක 11;20 ද බලන්න මයකා විය හැක. ය. ඇය ගිබෙයාහි ඌරියෙල්ගේ දියණියයි.
මෙකල අබියා හා යෙරොබොවම් අතර යුද්ධ පැවතිණි. 3අබියා සංග්‍රාමයට රණශූර, තෝරාගත් මිනිසුන් හාර ලක්ෂයක හමුදාවක් ගෙන, සටනට ගියේ ය. යෙරොබොවම් ඔහුට එරෙහිව රණශූර සෙබළුන් අට ලක්ෂයක් යුද්ධයට පෙළ ගැස්වී ය.
4අබියා, එප්‍රායිම් කඳු රටේ සෙමාරයිම් කන්ද පිට සිටගෙන මෙසේ පැවසී ය. “එම්බා යෙරොබොවම්, සියලු ඉශ්රායෙල්වරුනි, මට සවන් දෙනු. 5ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ, ඉශ්රායෙල් රජකම දාවිත්ටත්, ඔහුගෙන් පුත්‍රයින්ටත් ලුණු-ගිවිසුමකින් සදහට ම පවරා දුන් වග නුඹලා දන්නේ නැද්ද? 6එහෙත් දාවිත්ගේ පුත් සාලමොන්ගේ සේවකයකු වූ නෙබාට්ගේ පුත් යෙරොබොවම් තම හාම්පුතාට එරෙහිව නැගිට, කැරලි ගැසුවා. 7කමකට නැති දුර්ජනයින් කීප දෙනෙක් ඔහුට එකතු වී, සාලමොන්ගේ පුත් රෙහොබොවම්ට එරෙහි වුණා. එකල ලාමක සිතැති බාලයකු ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්නට ඔහුට නො හැකි වුණා.
8“නුඹලා දැන් සිතන්නේ දාවිත්ගේ පුත්‍රයින් අතේ ඇති ස්වාමින්වහන්සේගේ රාජ්‍යයට විරුද්ධ ව සිටින්නට නුඹලාට හැකි ය කියායි. මොකද නුඹලා මහත් සමූහයක්. තවත් නුඹලාට දෙවිවරුන් වන්නට යෙරොබොවම් හදා දුන් රන් වසුන් නුඹලාට සිටින නිසා. 9නුඹලා ආරොන්ගේ පුතුන් වන ස්වාමින්වහන්සේගේ පූජකයින් හා ලෙවීවරුන් පන්නා දමා, වෙනත් රටවල ජනයා වගේ නුඹලාට පූජකයින් තනා ගත්තේ නැද්ද? තමා ම කැප කර ගන්නට ගොන් නාම්බෙකුත්, බැටළුවන් හත් දෙනකුත් ගෙනෙන ඕනෑ ම කෙනෙක් දෙවිවරුන් නො වන දෙවිවරුන්ට පූජකයකු වෙයි.
10“එහෙත් අපට නම්, අපගේ දෙවියන්වහන්සේ, ස්වාමින්වහන්සේ ය. අපි උන්වහන්සේ අත්හැර නැහැ. අපට සිටින්නේ ස්වාමින්වහන්සේට මෙහෙ කරන ආරොන්ගේ පුත්‍රයින් වන පූජකයින්. ඔවුන්ට සහාය වීමට ලෙවීවරුන් සිටිනවා. 11ඔවුන් හැම උදය ම, හැම සවස ම ස්වාමින්වහන්සේට දවන යාග පූජා හා සුගන්ධ ධූම ඔප්පු කරනවා. පවිත්‍ර මේසය මත පිළිවෙලින් රොටි තබන ඔවුන් හැම සවස ම රන් පහන් රුකේ පහන් දල්වනවා. අප, අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නියෝග පිළිපදිනවා. එහෙත් නුඹලා උන්වහන්සේ අත්හැර දමලා. 12දැන් මෙන්න! දෙවියන්වහන්සේ අප සමඟයි; උන්වහන්සේ අපේ පෙරමුණේ. නුඹලාට එරෙහිව සටනට කැඳවන්නට උන්වහන්සේගේ පූජකයින් පිඹින්නට යුධ හොරණෑ අතැතිව සිටිනවා. අහෝ ඉශ්රායෙල් පුත්‍රයිනි, නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව සටනට යන්නට එපා. නුඹලාට ජය ගන්නට බැහැ.”
13යෙරොබොවම් ඔවුන්ට පිටුපසින් කඩා වදින්නට රහසේ රැක සිටින සේනාංකයක් යැවී ය. මෙසේ ඔහුගේ සෙබළු යූදාට ඉදිරියෙන් වූ අතර රැක සිටින සේනාංකය ඔවුනට පිටුපසින් විය. 14යූදා බැලූ කල මෙන්න! සටන ඔවුන්ට ඉදිරියෙන් ද පිටුපසින් ද විය. එවිට ඔවුහු ස්වාමින්වහන්සේට මොර ගැසූහ; පූජකයෝ තම හොරණෑ හැඬවූහ. 15යූදා ජනතාව යුද ඝෝෂා නැංවූහ. ඔවුන්ගේ ඝෝෂා නාදයේදී දෙවියන්වහන්සේ, යෙරොබොවම් සහ ඔහු සමඟ වූ සියලු ඉශ්රායෙල්වරුන් අබියා හා යූදා ජනයා හමුවේ පැරදෙවු සේක. 16ඉශ්රායෙල් මිනිස්සු යූදා ඉදිරිපිටින් පලා ගියහ. දෙවියන්වහන්සේ යූදා ජනයා අතට ඔවුන් හසුකර දුන් සේක. 17අබියාත්, ඔහුගේ ජනතාවත් බරපතළ ප්‍රහාරයක් එල්ල කළෙන්, තෝරාගත් ඉශ්රායෙල් මිනිසුන් පන් ලක්ෂයක් ඝාතනයෙන් වැටී ගියහ. 18එම අවස්ථාවේ ඉශ්රායෙල් ජනයා යටත් කරන ලදහ. එසේ යූදා ජනයා ජය ලදහ. මන්ද ඔවුන් තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මත විශ්වාසය තැබූ බැවිනි.
19අබියා, යෙරොබොවම් පසු පස හඹා ගොස්, බෙතෙල් හා එහි ගම්මාන ද යෙෂානා හා එහි ගම්මාන ද එෆ්රොන් හා එහි ගම්මාන ද යන පුරවර අල්ලා ගත්තේ ය. 20අබියාගේ දවස්වලදී යෙරොබොවම් යළි යථා තත්වයට පත් වූයේ නැත. ස්වාමින්වහන්සේ ඔහුට පහර දුන් සේක. ඔහු මළේ ය.
21එහෙත් අබියා බලවත් විය. ඔහු භාර්යාවන් දාහතර දෙනකු විවාහ කර ගත්තේ ය. ඔහුට පුතුන් විසි දෙදෙනෙක් ද දූවරුන් දහසය දෙනෙක් ද වූහ.
22අබියා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ හා ඔහු පැවසූ දෑ ද දිවැසිවර ඉද්දෝගේ කතාවේ ලියැවී තිබේ.
දැනට තෝරාගෙන ඇත:
2 ලේකම් 13: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.