2 ලේකම් 14

14
1අබියා තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔවුහු දාවිත් පුරයේ ඔහු භූමදාන කළෝ ය. ඔහුගේ පුත් ආසා ඔහු වෙනුවට රජකමට පත් විය. ඔහුගේ දවස්වලදී දේශය තුළ දස අවුරුද්දක් සාමය පැවතිණ.
යුදයේ ආසා රජු
2ආසා තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි යහපත් වූ නිවැරදි වූ දේ කළේ ය. 3ඔහු අන්‍ය පූජාසන සහ උස් තැන් පුදසුන් ඉවත් කර, රූප ස්තම්භ කඩා දමා, අෂේරා කණු කපා දැමී ය. 4ඔහු යූදා ජනයාට තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයන්නටත්, ව්‍යවස්ථාව හා ආඥාව පිළිපදින්නටත් අණ කළේ ය. 5ඔහු යූදාහි හැම නගරයක ම තබා තිබූ උස් තැන් පුදසුන් හා සුවඳ දුම් පූජාසන ඉවත් කළේ ය. ඔහු යටතේ එම රාජ්‍යය තුළ සාමය පැවතිණ. 6දේශය තුළ සාමය පැවතුණු බැවින් ඔහු යූදාහි බළකොටු පුරවර ගොඩ නැගී ය. මන්ද ස්වාමින්වහන්සේ ඔහුට සාමය දුන් බැවින් ඒ අවුරුදුවල යුද්ධ පැවතුණේ නැත.
7ඔහු යූදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩ නඟමු. ඒ වටා පවුරු, මුර කොටු, දොරටු හා අගුල් සාදමු. මන්ද අපි අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සෙවූ බැවින් දේශය තවමත් අප සතු ය; අපි උන්වහන්සේ සෙවීමු. හැම අතින් ම උන්වහන්සේ අපට සාමය දුන් සේකැ” යි පැවසී ය. මෙසේ ඔවුහු ගොඩ නගා, සඵල වූහ.
8මහා පලිහ හා හෙල්ලවලින් සන්නද්ධ වූ තුන් ලක්ෂයක් යූදා ජනයාගෙන් ද කුඩා පලිහ හා දුනුවලින් සන්නද්ධ වූ දෙලක්ෂ අසූදහසක් බෙන්යමින් ජනයාගෙන් ද සමන්විත සේනාවක් ආසාට සිටියේ ය. ඒ සියල්ලෝ ම අභීත රණවිරුවන් වූහ.
9මේ අතර ඔවුන්ට එරෙහිව මිනිසුන් ලක්ෂ දහයක විශාල සේනාවක් හා යුධ රථ තුන්සියයක් ද කැටුව කූෂීය සෙරා, මාරේෂා දක්වා ම පැමිණියේ ය. 10ආසා ඔහු මුණගැසෙන්නට ගියේ ය. ඔවුහු මාරේෂා අසල වූ සෙෆතා මිටියාවතේදී යුද්ධයට හමුදා පෙළ ගැස්වූහ.
11එවිට ආසා තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මොර ගසමින්, “අහෝ ස්වාමින්වහන්ස, බලවතා හා දුබලයා අතරේ උපකාර කරන්නට ඔබ හා සමාන අන් කෙනකු තවත් නැත. අපට පිහිට වුව මැනව. අහෝ ස්වාමින්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, මන්ද අපි ඔබවහන්සේ තුළ විශ්වාසය තැබීමු. අති විශාල මෙම හමුදාවට එරෙහිව අප පැමිණියේ ඔබවහන්සේගේ නාමයෙනි. අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අපගේ දෙවියන්වහන්සේ ය; ඔබවහන්සේට එරෙහිව මනුෂ්‍යයාට දිනන්නට ඉඩ නුදුන මැනව” යි පැවසී ය.
12එවිට ස්වාමින්වහන්සේ ආසා හා යූදා ඉදිරියෙන් කූෂ්වරුන් පැරද වූ සේක; කූෂ්වරු පලා ගියහ. 13ආසා සහ ඔහු සමඟ වූ ජනයා ගෙරාර් දක්වා ම ඔවුන් ලුහුබැඳ ගියහ. කූෂ්වරු සහමුලින් ම වැටී ගියහ. ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ සේනාව ඉදිරිපිට ඔවුන් විනාශ කර දැමිණ. යූදා ජනයා මහත් කොල්ලයක් අර ගත්හ. 14ඔවුහු ගෙරාර් වටා වූ සියලු පුරවරවලට පහර දුන්හ. මන්ද ස්වාමින්වහන්සේගේ භීතිය ඔවුන් පිට වැටී තිබිණ. ඔවුහු සියලු පුරවර කොල්ල කෑහ. මන්ද ඒවායේ බොහෝ කොල්ලය තිබිණ. 15ඔවුහු එඬේරුන්ගේ කඳවුරුවලට ද පහර දී, එළුවන්, බැටළුවන් හා ඔටුවන් මහත් ගණනක් පැහැර ගත්හ. ඉන්පසු ඔවුහු යෙරුසලමට පෙරළා පැමිණියහ.

දැනට තෝරාගෙන ඇත:

2 ලේකම් 14: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න