2 ලේකම් 12
12
ඊජිප්තුවරු යෙරුසලමට
1එහෙත් රෙහොබොවම්ගේ රාජ්‍යය ස්ථාවර වී, බලවත් වූ කල, ඔහු ද ඔහු සමඟ වූ සියලු ඉශ්රායෙල්වරු ද ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව නො තකා හැරියහ. 2ඔවුන් ස්වාමින්වහන්සේට අවිශ්වාසවන්ත වූ නිසා රෙහොබොවම් රජුගේ පස්වෙනි අවුරුද්දේ ඊජිප්තුවේ රජු වූ ෂීෂක් යෙරුසලමට විරුද්ධ ව ආවේ ය. 3යුද්ධ රථ එක්දහස් දෙසීයක් ද අසරුවන් හැට දහසක් ද ඊජිප්තුවේ සිට ඔහු සමඟ ලිබියානු, සුක්කීය හා කූෂීය පාබළ සෙබළුන් ගැණිය නො හැකි ගණනක් ද ආහ. 4යූදාහි බළකොටු පුරවර අල්ලා ගත් ඔහු යෙරුසලම දක්වා ම ආවේ ය.
5ෂීෂක් නිසා යෙරුසලමේ රැස් වී සිටි රෙහොබොවම් ද යූදා අධිපතීන් ද වෙත ආ දිවැසිවර ෂෙමායා ඔවුන් අමතමින්, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක. ‘නුඹලා මා අත්හැර දැමූ බැවින්, මමත් ෂීෂක් අතට නුඹලා අත්හැර දමන්නෙමි’ යි” කී ය.
6එවිට ඉශ්රායෙල් අධිපතීහු හා රජු තමන් ම යටහත් වී, “ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ යැ” යි කීහ.
7ඔවුන් තමන් ම යටහත් වූ වග ස්වාමින්වහන්සේ දුටු කල, ස්වාමින්වහන්සේගේ වචනය ෂෙමායා වෙත පැමිණියේ ය: “ඔවුන් යටහත් වූ බැවින්, මම ඔවුන් විනාශ නො කරන්නෙමි. ඉක්මනින් මම ඔවුන්ට යම් මිදීමක් සලසා දෙන්නෙමි. මගේ උදහස ෂීෂක් මගින් යෙරුසලම පිට වගුරුවනු නො ලබන්නේ ය. 8කෙසේ වෙතත් ඔවුන් ඔහුට සේවකයින් වනු ඇත. ඒ, මට සේවය කිරීමත්, අන් දේශවල රජුන්ට සේවය කිරීමත් අතර ඇති වෙනස ඔවුන් දැනගනු පිණිස ය.”
9ඊජිප්තු රජු වූ ෂීෂක්, යෙරුසලමට එරෙහිව අවුත්, ස්වාමින්වහන්සේගේ ගෘහයේ අනර්ඝ වස්තු හා රජ මැදුරේ අනර්ඝ වස්තු රැගෙන ගියේ ය. සාලමොන් සාදා තිබූ රන් පලිහ සියල්ල ඇතුළු හැම දෙයක් ම ඔහු ගෙන ගියේ ය. 10එබැවින් රෙහොබොවම් රජු ඒවා වෙනුවට ලෝකඩ පලිහ සාදා, රජ මැදුරු පිවිසුම ආරක්ෂකයින්ගේ සෙන්පතීන් භාරයේ ඒවා තැබී ය. 11රජු ස්වාමින්වහන්සේගේ ගෘහයට ගිය හැම විට, ආරක්ෂකයෝ පලිහ ඔසවාගෙන ගොස්, නැවත ඒවා ආරක්ෂක කුටිය වෙත යළි ගෙන ආහ.
12රෙහොබොවම් යටහත් වූ නිසා ස්වාමින්වහන්සේගේ කෝපය ඔහු වෙතින් පහ විය. ඔහු මුළුමනින් විනාශයට පත් වූයේ නැත. තවද, යූදාහි යම් යහපත්කම් තිබිණ.
13රෙහොබොවම් රජු, යෙරුසලමෙහි රජු වශයෙන් ස්ථාවර විය. ඔහු රජකමට පත් වන කල හතළිස් එක් වන වියේ පසු විය. ස්වාමින්වහන්සේ ස්වකීය නාමය තබන්නට ඉශ්රායෙල් ගෝත්‍ර සියල්ල අතරෙන් තෝරා ගෙන තිබූ පුරවරය වන යෙරුසලමේ ඔහු දාහත් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම නාමා ය; ඇය අම්මොනීය කාන්තාවකි. 14ඔහු ස්වාමින්වහන්සේ සොයන්නට තම හදවත යොමු නො කළ බැවින් දුෂ්ටකම් කළේ ය.
15රෙහොබොවම් සම්බන්ධ සෙසු කාරණා මුල පටන් අවසානය දක්වා සිදු වූ දෑ දිවැසිවර ෂෙමායාගේ ද අනාගතවක්තෘ ඉද්දෝගේ ද පෙළපත් නාමාවලි වාර්තාවල සඳහන් වී තිබෙනවා නො වේ ද? රෙහොබොවම් හා යෙරොබොවම් අතරේ දිගට ම යුද්ධ පැවතිණි. 16රෙහොබොවම් තම පියවරුන් සමඟ සැතපුණෙන්, දාවිත් පුරයේ ඔහු භූමදාන කෙරිණි. ඔහුගේ පුත් අබියා ඔහු වෙනුවට රජකමට පත් විය.
දැනට තෝරාගෙන ඇත:
2 ලේකම් 12: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.