1 ලේකම් 4

4
සෙසු යූදා පෙළපත්
1යූදාගේ පුත්‍රයෝ#4:1 යූදාගේ පුත්‍රයෝ හෙවත් යූදාගෙන් පැවතෙන්නෝ:
පෙරෙස්, හෙස්රොන්, කර්මී, හූර් හා ෂෝබාල් ය.
2ෂෝබාල්ගේ පුත් රෙයායා, යහත්ගේ පියා ය. යහත්, අහූමයිගේ හා ලාහද්ගේ පියා ය. සොරාතිවරුන්ගේ පෙළපත් ඔවුහු ය.
3ඒටාම් පියා වූයේ මොවුන්ට ය:
යෙස්රෙයෙල්, ඉෂ්මා හා ඉද්බාෂ් ය. ඔවුන්ගේ සහෝදරියගේ නම හස්සෙලෙල්පෝනී ය. 4පෙනූවෙල්, ගෙදෝර්ගේ පියා ය. ඒසෙර්, හූෂාගේ පියා ය.
ඔවුහු එෆ්‍රාතාගේ කුලුඳුල් පුතා ද බෙත්ලෙහෙම්ගේ පියා#4:4 මෙහි පියා යන වචනයෙන් නායකයා හෝ හමුදා නායකයා අදහස් විය හැකි අතර 12, 14, 17, සහ 18 පදවල ද එසේ ය. ද වූ හූර්ගෙන් පැවත ආහ.
5තෙකෝවාගේ පියා වන අෂ්හූර්ට හෙලෙයා හා නාරා නම් භාර්යාවන් දෙදෙනෙක් සිටියහ.
6නාරා ඔහුට අහුස්සාම් ද හේෆෙර් ද තේමෙනි ද හා-අහෂ්තාරි ද බිහි කළා ය. ඔවුහු නාරාගේ පුත්‍රයෝ ය.
7හෙලෙයාගේ පුත්‍රයෝ:
සෙරෙත්, සොහර්, එත්නාන් හා 8කෝස් ය. ඔහු ආනූබ්ගේ ද හස්-සොබේබාගේ ද හාරූම්ගේ පුත් අහර්හේල්ගේ පෙළපත්වල ද පියා ය.
9යාබේස් තම සහෝදරයිනට වඩා ගරු කටයුතු කෙනෙක් විය. ඔහුගේ මව, “මම වේදනාවෙන් යුතු ව ඔහු බිහි කළෙමි” යි කියා, යාබේස්#4:9 යාබේස් යන නම වේදනාව සඳහා වන හෙබ්‍රෙව් වචනයට සමානයි. යන නම ඔහුට තැබුවා ය. 10යාබේස්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ඔබවහන්සේ මට ආශිර්වාද කර, මගේ දේශ සීමාව විශාල කරන සේක්වා! ඔබවහන්සේගේ හස්තය මා සමඟ වේවා! මට වේදනා නො පැමිණෙන පිණිස, උපද්‍රවයෙන් මා ආරක්ෂා කරන සේක්වා!” යි කී ය. දෙවියන්වහන්සේ ඔහුගේ අයැදුම ඉටු කළ සේක.
11ෂූහාගේ සහෝදර කෙලූබ්, මෙහීර්ගේ පියා ය. ඔහු එෂ්තෝන්ගේ පියා ය. 12එෂ්තෝන්, බෙත්-රාෆා, පාසේයා හා ඊර්-නාහාෂ්ගේ#4:12 ඊර්-නාහාෂ්ගේ හෙවත් නාහාෂ් පුරයේ පියා වූ තෙහින්නාගේ පියා ය. ඔවුහු රේකාහි මිනිස්සු ය.
13කෙනස්ගේ පුත්‍රයෝ:
ඔත්නියෙල් හා සෙරායා ය.
ඔත්නියෙල්ගේ පුත්‍රයෝ:
හතත් හා මෙයෝනොතයි#4:13 සමහර ග්‍රීක පිටපත්වලට සහ ලතින් අනුවාදයට අනුව ය. හෙබ්‍රෙව් පිටපත්වල මෙයෝනොතයි නොමැත. ය. 14මෙයෝනොතයි, ඔෆ්‍රාගේ පියා ය.
සෙරායා, ගේ-හරාෂීම්හි#4:14 ගේ-හරාෂීම්හි හෙවත් කර්මාන්තකරුවන්ගේ මිටියාවතේ පියා වන යෝවාබ්ගේ පියා ය.
එය එසේ හැඳින්වූයේ එහි ජනයා නිපුණ ශිල්පීන් වූ බැවිනි.
15යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ගේ පුත්‍රයෝ:
ඊරු, ඒලා හා නාම් ය.
ඒලාගේ පුත්‍රයා:
කෙනස් ය.
16යෙහල්ලෙලෙල්ගේ පුත්‍රයෝ:
සීෆ්, සීෆා, තීරියා හා අසරේල් ය.
17එස්රාගේ පුත්‍රයෝ:
යෙතෙර්, මෙරෙද්, ඒෆෙර් හා යාලොන් ය.
මෙ‍රෙද්ගේ බිරියන්ගෙන් කෙනෙක්#4:17 මෙ‍රෙද්ගේ බිරියන්ගෙන් කෙනෙක් වෙනුවට හෙබ්‍රෙව් පිටපත්වල ඇත්තේ ඈ ලෙස ය. මිරියාම්, ෂම්මයි හා එෂ්තෙමොවාගේ පියා වූ ඉෂ්බා බිහි කළා ය.
18ඔවුහු මෙරෙද් විවාහ කර ගත් පාරාවෝගේ දියණිය ද වූ බිතියාගේ දරුවෝ ය. ඔහුගේ යුදෙව් ගෝත්‍රික බිරිඳ, ගෙදෝර්ගේ පියා වන යෙරෙද් ද සෝකෝගේ පියා වන හෙබෙර් ද සානෝවාගේ පියා වන යෙකූතියෙල් ද බිහි කළා ය.
19නහම්ගේ සොහොයුරියගේ හෙවත් හෝදීයාගේ බිරිඳගේ පුත්‍රයෝ:
ගර්මීය කෙයීලාගේ පියා හා මාකාතීය එෂ්තෙමොවා ය.
20ෂීමොන්ගේ පුත්‍රයෝ:
අම්නෝන්, රින්නා, බෙන්-හානාන් හා තීලොන් ය.
ඉෂීගේ පුත්‍රයෝ:
සෝහේත් හා බෙන්-සෝහෙත් ය.
21යූදාගේ පුත් ෂේලාගේ පුත්‍රයෝ:
ලේකාගේ පියා වූ ඒර් ද මාරේෂාගේ පියා වූ ලාදා ද බෙත්-අෂ්බෙයාහි හණ පිළි ශිල්පීය පෙළපත් ද
22යෝකීම් ද කොසේබාහි මිනිසුන් ද මෝවබ්හි රජකම් කළ යෝවාෂ් හා සාරාෆ් ද යාෂුබි-ලෙහෙම් ද යන අයයි. මේ වාර්තා ඉපැරණි ය. 23නෙටායීම්හි ද ගෙදේරාහි ද වාසය කළ ඔවුහු කුඹල්කරුවෝ ය. ඔවුහු එහි රජු හා වාසය කරමින්, ඔහුට මෙහෙ කළෝ ය.
සිමියොන්ගේ ගෝත්‍ර වංශය
24සිමියොන්ගේ පුත්‍රයෝ:
නෙමුවෙල්, යාමීන්, යාරිබ්, සෙරා හා ෂාවුල් ය.
25ඔහුගේ පුත්‍රයා ෂල්ලූම් ය. ඔහුගේ පුත්‍රයා මිබ්සාම් ය. ඔහුගේ පුත්‍රයා මිෂ්මා ය.
26මිෂ්මාගේ පුත්‍රයෝ:
ඔහුගේ පුත්‍රයා හම්මුවෙල් ය. ඔහුගේ පුත්‍රයා සක්කූර් ය. ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය.
27ෂිමෙයිට පුතුන් දහසය දෙනෙක් හා දූවරුන් හයදෙනෙක් සිටියහ. එහෙත් ඔහුගේ සොහොයුරනට බොහෝ දරුවන් සිටියේ නැත; එබැවින් ඔවුන්ගේ මුළු පෙළපත යූදා ජනයා මෙන් ගණනින් බහුල නො වී ය. 28ඔවුන් වාසය කළේ බෙයර්ෂෙබා, මෝලාදා, හසර්-ෂූවාල්, 29බිල්හා, එසෙම්, තෝලද්, 30බෙතුවෙල්, හොර්මා, සික්ලග්, 31බෙත්-මර්කාබොත්, හසර්-සූසීම්, බෙත්-බිරී හා ෂාරයිම් යන නගරවල ය. දාවිත් රජ සමය තෙක් ඒවා ඔවුන්ගේ නගර ව පැවතිණි. 32ඔවුන්ගේ ගම්මාන වූයේ ඒටාම්, අයින්, රිම්මෝන්, තොකෙන් හා ආෂාන් යන නගර පහත්, 33බාල්#4:33 බාල් හෙබ්‍රෙව් අනුව ය. සමහර ග්‍රීක පිටපත්වල බාලත් ලෙස ඇත. දක්වා ඒ නගර වටා පිහිටි සියලු ගම්මානත් ය. ඒවා ඔවුන්ගේ වාස භූමි විය.
ඔවුහු පෙළපත් නාමාවලියක් පවත්වාගෙන ගියහ.
34මෙෂෝබාබ්, යම්ලේක් හා
අමසියාගේ පුත් යෝෂා, 35යෝවෙල්,
අසීයෙල්ගේ පුත්‍ර, සෙරායාගේ පුත්‍ර, යෝෂිබියාගේ පුත්‍ර යේහූ,
36එල්යෝවේනයි, යාකොබා, යෙෂෝහායා,
අසායා, අදීයෙල්, යෙසීමියෙල් හා බෙනායා,
37ෂෙමායාගේ පුත්‍ර, ෂිම්රීගේ පුත්‍ර, යෙදායාගේ පුත්‍ර, අල්ලොන්ගේ පුත්‍ර, ෂිෆීගේ පුත්‍ර සීසා ද වේ.
38ඉහත නම් සඳහන් අය තම පෙළපත්වල අධිපතීන් වූහ.
ඔවුන්ගේ පියවරුන්ගේ පෙළපත් බොහෝ සේ වැඩි වර්ධන විය. 39ඔවුහු තම එළු බැටළු රංචුවලට තණ බිම් සොයමින්, ගෙදෝර්හි පිවිසුම වෙතට, මිටියාවතේ නැගෙනහිර පැත්තට ගමන් කළහ. 40ඔවුනට සරු සාර, කදිම, තණ බිම් හමු විය. ඒ දේශය විශාල ය. සාමයෙන් යුතු ය. නිසංසල ය. මුලින් එහි වාසය කළේ හාම්වරුන් ය.
41ඉහත නම් සඳහන් අය, යූදා රජු වූ හෙසකියාගේ දවස්වලදී පැමිණ, හාම්වරුන්ගේ වාස භූමිවලටත්, එහි සිටි මෙයූනිවරුන්ටත් පහර දී අද ද පෙනෙන්නට තිබෙන පරිදි ඔවුන් මුළුමනින් විනාශ කර, එහි පදිංචි වූහ. මන්ද ඔවුන්ගේ එළු බැටළු රංචුවලට එහි තණ බිම් තිබිණි. 42ඒ සිමියොන්වරුන්ගෙන් පන්සිය දෙනෙක් පෙලටියා, නෙයරියා, රෙෆායා හා උස්සියෙල් යන ඉෂීගේ පුත්‍රයන්ගේ නායකත්වයෙන් යුතු ව සේයිර් කඳුරට ආක්‍රමණ කළහ. 43ඔවුහු ගැලවී ඉතිරි ව සිටි අමලෙක්වරුන් මරා දැමූහ. ඔවුන් අද වන තුරු එහි වාසය කොට ඇත.

දැනට තෝරාගෙන ඇත:

1 ලේකම් 4: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න