උත්පත්ති 30
30
1තමා යාකොබ්ට දරුවන් බිහි කර නොමැති වග දුටු රාඛෙල් තම සහෝදරියට ඊර්ෂ්‍යා කළා ය. ඈ යාකොබ් අමතමින්, “මට දරුවන් දෙන්න; නැති නම් මා මැරෙනවා” යි කීවා ය.
2එවිට රාඛෙල් හා උරණ වූ යාකොබ්, “දරු පල දැරීමෙන් ඔබ වැළැක් වූ දෙවියන්වහන්සේගේ තැන ගන්නට මට පුළුවන් දැ?” යි කීවේ ය.
3එවිට ඈ කතා කරමින්, “මෙන්න, මගේ සේවිකාව බිල්හා; මා වෙනුවෙන් දරුවන් බිහි කර දෙන පිණිසත්, ඇය මගින් මටත් දරුවන් ලැබෙන පිණිසත් ඇය සමඟ සයනය කරන්නැ” යි කීවා ය.
4මෙසේ ඈ තම සේවිකාව වූ බිල්හා ඔහුට බිරිඳක වශයෙන් දුන්නා ය. යාකොබ් ඇය හා සයනය කළේ ය. 5බිල්හා ගැබ් ගෙන, යාකොබ්ට පුතකු බිහි කළා ය. 6එවිට රාඛෙල්, “දෙවියන්වහන්සේ මට යුක්තිය ඉටු කර, මගේ කන්නලව්වට සවන් දී මට පුතකු දුන් සේකැ” යි කියා, ඔහුට දාන්#30:6 දාන් එනම් යුක්තිය ඉටු කිරීම යැයි නම් තැබුවා ය.
7රාඛෙල්ගේ සේවිකාව, බිල්හා යළි ගැබ් ගෙන, යාකොබ්ට දෙවන පුතකු බිහි කළා ය. 8එවිට රාඛෙල්, “මගේ සහෝදරිය සමඟ මහා පොරබැදීමක් කළෙමි. සැබවින් ම මම ඉන් ජය ගතිමි” යි කීවා ය. එබැවින් ඈ, ඔහුට නෆ්තලී#30:8 නෆ්තලී එනම් මගේ පොර බැදීම යන නම තැබුවා ය.
9ලෙයා ද තම ගැබ් ගැනීම නැවතුණු වග දුටු කල, තම සේවිකාව වූ සිල්පා කැඳවා, යාකොබ්ට බිරිඳක වශයෙන් දුන්නා ය. 10ලෙයාගේ සේවිකාව, සිල්පා යාකොබ් නිසා පුතකු බිහි කළා ය. 11එවිට ලෙයා, “කෙතරම් කදිම භාග්‍යයක් දැ!” යි කීවා ය. එබැවින් ඈ, ඔහුට ගාද්#30:11 ගාද් එනම් භාග්‍යය හෝ භට කණ්ඩායම යන නම තැබුවා ය.
12ලෙයාගේ සේවිකා, සිල්පා යාකොබ්ට දෙවන පුතකු ද බිහි කළා ය. 13එවිට ලෙයා, “මා කෙතරම් ප්‍රීතියෙන් ද! ස්ත්‍රීන් මට ‘ප්‍රීතිය’ කියා කියනු ඇතැ” යි කියමින් ඔහුට ආෂෙර්#30:13 ආෂෙර් එනම් ප්‍රීතිය යන නම තැබුවා ය.
14තිරිඟු අස්වනු නෙළන සමයේ කෙතට ගිය රූබෙන්ට මන්ද්‍රාගෝර පැළෑටි දක්නට ලැබිණ. ඔහු ඒවා තම මව, ලෙයා වෙත ගෙනාවේ ය. එවිට රාඛෙල්, ලෙයා අමතමින්, “ඔබේ පුතාගේ මන්ද්‍රාගෝර ටිකක් මටත් දෙන්නැ” යි ඉල්ලුවා ය.
15එහෙත් ලෙයා පිළිතුරු දෙමින්, “නුඹ මගේ සැමියා පැහැර ගත්තා මදිවාට මගේ පුතාගේ මන්ද්‍රාගෝරත් ගන්නට එනවා දැ?” යි ඇසුවා ය.
රාඛෙල් පිළිතුරු දෙමින්, “හොඳයි, ඔබේ පුතුගේ මන්ද්‍රාගෝරවල හිලව්වට ඔහු අද රැයේ ඔබ සමඟ සයනය කරනු ඇතැ” යි කීවා ය.
16එබැවින් කෙතේ සිට යාකොබ් සවස ආපසු එද්දී, ඔහු හමුවට ගිය ලෙයා, “ඔබ මා සමඟ සයනය කළ යුතුයි. මගේ පුතුගේ මන්ද්‍රාගෝරවලින් මම ඔබ කුලියට ගත්තෙමි” යි කීවා ය. එබැවින් ඒ රැයේ ඔහු ඇය සමඟ සයනය කළේ ය.
17දෙවියන්වහන්සේ ලෙයාට සවන් දුන් සේක්, ඈ ගැබ් ගෙන, යාකොබ්ට පස් වන පුතකු බිහි කළා ය. 18එවිට ලෙයා, “මගේ සේවිකාව, මගේ සැමියාට දුන් නිසා දෙවියන්වහන්සේ මගේ ගාස්තුව මට දුන් සේකැ” යි කීවා ය. එබැවින් ඈ ඔහුට ඉස්සාකර්#30:18 ඉස්සාකර් හෙබ්‍රෙව් ශබ්දානු සාරයට අනුව අර්ථය ඉටු විපාකය හෝ කුලිය යන නම තැබුවා ය.
19ලෙයා යළි ගැබ් ගෙන, යාකොබ්ට සවැනි පුතකු බිහි කළා ය. 20එවිට ලෙයා, “දෙවියන්වහන්සේ අනගි තෑග්ගක් මට දායාද කළ සේක. මගේ සැමියාට පුතුන් හය දෙනකු ම මා බිහි කර දුන් බැවින්, මෙවර ඔහු මා සමඟ වාසය කරනු ඇතැ” යි කීවා ය. එබැවින් ඈ ඔහුට සාබුලොන්#30:20 සාබුලොන් අර්ථය ගෞරවය විය හැක. යන නම තැබුවා ය.
21පසුව ඈ දියණියක බිහි කර, ඇයට දීනා යන නම තැබුවා ය.
22මෙයින් පසු දෙවියන්වහන්සේ රාඛෙල් සිහි කර, ඇයට සවන් දී ඇගේ දරු ගැබ විවර කළ සේක. 23එබැවින් ඈ ගැබ් ගෙන, පුතකු බිහි කර, “දෙවියන්වහන්සේ මගේ නින්දාව පහ කළ සේකැ” යි කීවා ය. 24ඈ, “ස්වාමින්වහන්සේ තවත් පුතකු මට එකතු කරන සේක්වා” යි කියමින් ඔහුට යෝසෙප්#30:24 යෝසෙප් එනම් එකතු කරන සේක්වා! යන නම තැබුවා ය.
යාකොබ්ගේ සත්ව සම්පත
25රාඛෙල්, යෝසෙප් බිහි කළ පසු යාකොබ්, ලාබාන්ට කතා කොට, “මගේ ගෙදරට, මගේ ම රටට ආපසු යන්නට මා පිටත් කර හරින්න. 26මා ඔබට මෙහෙ කර, උපයා ගත් මගේ භාර්යාවන් හා මගේ දරුවන් මට දී, මට යන්න හරින්න. මන්ද මා මොන තරම් මෙහෙවරක් ඔබට කර දුන්නාදැයි ඔබ හොඳින් දනී” යි පැවසී ය.
27ලාබාන් ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ මට කරුණාව දක්වනවා නම් නවතින්න. ස්වාමින්වහන්සේ මට ආශිර්වාද කර ඇත්තේ, ඔබ නිසා වග, නිමිත්තක් මගින් මට දැනගන්නට ලැබුණා” යි කීවේ ය. 28ඔහු තවදුරටත් කතා කරමින්, “ඔබේ ගාස්තුව නියම කරන්න; මා එය ගෙවන්නම්” යි කීවේ ය.
29යාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, “මා ඔබට මෙහෙ කළේ කෙසේ ද කියාත්, ඔබගේ සත්ව සම්පත, මගේ සාත්තුව යටතේ වැඩුණේ කෙසේ ද කියාත්, ඔබ හොඳින් ම දනී. 30මා මෙහි එන විට ඔබට තිබූ ස්වල්පය අතිශයෙන් ම වර්ධන වී ඇත. මා සම්බන්ධ වූ හැම තැනකදී ම ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කර ඇත. මගේ ම දරු පවුල උදෙසා මා යමක් කරන්නේ කවරදාක දැ?” යි ඇසී ය.
31එවිට ලාබාන්, “මා ඔබට දිය යුත්තේ කුමක් දැ?” යි ඇසී ය.
යාකොබ් පිළිතුරු දෙමින්, “ඔබ මට කිසිවක් දිය යුතු නැහැ. මා කියන මේ එක ම දේ ඔබ මට කර දෙනවා නම්, මා දිගට ම ඔබේ රංචු පෝෂ්‍ය කරමින්, රැක බලා ගන්නම්. 32අද ඔබේ රංචු සියල්ල අතරට ගොස්, ලප හා පුල්ලි වැටුණු බැටළුවන් ද කළු පැහැති හැම බැටළු පැටවකු ද පුල්ලි සහ ලප සහිත හැම එළුවකු ද වෙන් කර ගැනීමට මට ඉඩ දෙන්න. මගේ කුලිය එයයි. 33ඔබ මට ගෙවූ කුලිය ගැන මතු දවසක ඔබ පරීක්ෂා කරන කල, මගේ අවංක භාවය මා වෙනුවෙන් සාක්ෂි දෙනු ඇත. මට අයත් එළුවන් අතර ලප සහ පුල්ලි නැති එකකු ද බැටළු පැටවුන් අතර කළු පැහැ නොමැති එකකුදු වේ නම්, උන් සොරාගනු ලැබූවන් සේ සැලකේවා” යි කීවේ ය.
34එවිට ලාබාන්, “අගෙයි, නුඹ කී ලෙස ම වේවා” යි කීවේ ය. 35ඒ දවසේ ම වයිරම් හා පුල්ලි වැටුණු සියලු එළු වස්සන් ද පුල්ලි හා ලප සහිත සියලු එළු දෙනුන් ද යන වශයෙන් සුදුපාට ගෑවුණු සියලු එළුවන් ද බැටළුවන් අතර කළු පැහැයෙන් යුත් සියල්ලන් ද වෙන් කළ ලාබාන් උන් තම පුතුන්ගේ බාරයට පත් කළේ ය. 36මෙසේ ඔහු දවස් තුනක ගමන්-දුරක් තමා හා යාකොබ් අතරෙහි තැබී ය. යාකොබ් මේ අතරේ ලාබාන්ගේ සෙසු එළු බැටළු රංචු පෝෂ්‍ය කරන්නට වන්නේ ය.
37කෙසේ වෙතත් යාකොබ් ලිබ්නේ, ලූස් හා එර්මෝන් යන ගස්වල කැපූ අමු කෝටු ගෙන, කෝටු අරටුවේ සුද, තීරු වශයෙන් පෙනෙන ලෙස පොතු ගැලවී ය. 38ඉන්පසු ඔහු තමා පොතු ගැලවූ කෝටු, එළු බැටළු රංචු දිය බොන වතුර ටැංකිවල සත්ව රංචු ඉදිරිපිටින් තැබී ය. සත්තු දිය බොන්නට ආ කල පට්ටි ගැසුණහ. 39මෙසේ ලී කෝටු ඉදිරියේ පට්ටි ගැසුණු එළු බැටළු රංචු වයිරම්, පුල්ලි හා ලප සහිත පැටවුන් බිහි කළහ. 40එවිට යාකොබ් රංචුවල එම පැටවුන් වෙන් කර, සෙස්සන් ලාබාන්ගේ රැළේ වූ පුල්ලි සහිත වූත්, කළු පැහැයෙන් යුතු වූත් සතුන් දෙසට මුහුණ ලෑමට සැලසී ය. මෙසේ ඔහු තමන්ට ම එළු බැටළු රංචු තනා ගත්තේ ය. ලාබාන්ගේ සතුන් අතරට ඔහු උන් යැව්වේ නැත. 41සවිමත් දෙනුන් පට්ටි ගැසෙන කල, යාකොබ් පෙර කී කෝටු සත්ව රංචු ඉදිරිපිට වතුර ටැංකිවල තැබී ය. එසේ කළේ ලී කෝටු අසලදී ඔවුන් පට්ටි ගැසෙන පිණිස ය. 42එහෙත් දුබල සතුන් පට්ටි ගැසෙන කල, ඔහු ඒවා තැබුවේ නැත. එබැවින් දුබල එවුන් ලාබාන්ගේ විය. සවිමත් එවුන් යාකොබ්ගේ විය. 43මේ අයුරින් ඒ මිනිසා අතිශයෙන් සමෘද්ධිමත් විය. ඔහුගේ ම වූ එළු බැටළු රංචු ද දැසි දස්සන් ද ඔටුවන් සහ බූරුවන් ද ඔහුට හිමි විය.
Выбрано:
උත්පත්ති 30: SCV
Выделить
Копировать
Сравнить
Поделиться
Хотите, чтобы то, что вы выделили, сохранялось на всех ваших устройствах? Зарегистрируйтесь или авторизуйтесь
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.