උත්පත්ති 15
15
ආබ්‍රම් සමඟ ස්වාමින්වහන්සේගේ ගිවිසුම
1මින් අනතුරුව ස්වාමින්වහන්සේගේ වචනය, දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණියේ ය:
“භය නො වන්න ආබ්‍රම්,
ඔබේ පලිහ මමයි;
ඔබේ ත්‍යාගය ද අති මහත් ය.”
2එහෙත් ආබ්‍රම් කතා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, තවම දරුවකු නැතිව සිටින මට කුමක් ඔබ දෙන සේක් ද? මා සතු වස්තුවට උරුමකරුවා වනු ඇත්තේ, දමස්කයේ එලියේසර්” යැයි පැවසී ය. 3ආබ්‍රම් යළිත්, “ඔබවහන්සේ මට දරුවකු දී නැති නිසා, මගේ උරුමකරු වනු ඇත්තේ මගේ ගෙදර මෙහෙකරුවෙකි” යි ද කීවේ ය.
4එවිට මෙන්න! ස්වාමින්වහන්සේගේ වචනය, ඔහු වෙත මෙසේ කියමින් පැමිණියේ ය: “ඒ මිනිසා ඔබේ උරුමකරු වන්නේ නැත. ඔබට දාව උපදින, ඔබේ ම පුතකු ඔබේ උරුමකරු වනු ඇතැ” යි පැවසී ය. 5උන්වහන්සේ පිටතට ඔහු කැඳවා, “අහස දෙස ඉහළ බලා, තරු ගණින්න. සැබවින් ම ඔබට එය ගැණිය හැකි වේ ද! ඔබේ දරු පරපුරත් එසේ ම වන්නේ යැ” යි පැවසූ සේක.
6ආබ්‍රම් ස්වාමින්වහන්සේ විශ්වාස කළේ ය. එය, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ ගණන් ගත් සේක.
7උන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “මේ දේශය ඔබ විසින් හිමි කර ගන්නා පිණිස, එය ඔබට දෙන්නට, කල්දිවරුන්ගේ ඌර් නුවරින් ඔබ පිටතට ගෙන ආ ස්වාමින්වහන්සේ මම වෙමි” යි පැවසූ සේක.
8එහෙත් ආබ්‍රම්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මා එය හිමි කර ගන්නා වග මට දැනගත හැක්කේ කෙසේ දැ?” යි ඇසී ය.
9උන්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “තුන් අවුරුදු වැස්සියක හා තුන් අවුරුදු එළිච්චියක ද තුන් අවුරුදු බැටළුවකු ද කොබෙයියකු හා පරෙවි පැටවකු ද මා ළඟට ගෙනෙන්නැ” යි කී සේක.
10ආබ්‍රම් ඒ සියල්ල උන්වහන්සේ වෙත ගෙන අවුත්, උන් දෙපළු කර, එක් පළුවක් අනෙකට ප්‍රති විරුද්ධ ව සිටින සේ අතුළේ ය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළු කළේ නැත. 11ගිජු ලිහිණි, ඒ මළකුණු පිටට බැස ආහ. එහෙත් ආබ්‍රම් උන් පලවා හැරියේ ය.
12හිරු අවරට යද්දී ආබ්‍රම් බර නින්දකට වැටිණි. එවිට මෙන්න! භයංකර ඝන අන්ධකාරයක් ඔහු පිට පතිත විය. 13ස්වාමින්වහන්සේ එවිට ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබේ දරු පරපුරට අනුන්ගේ දේශයක විදේශීන් ව සිටින්නට සිදුවන බවත්, වසර හාරසියයක් ඔවුන් වහල් භාවයට පත් වී, තාඩන පීඩන විඳින බවත් සැක හැර දැනගන්න. 14වහලුන් සේ ඔවුන් සේවය කරන ජාතියට මම දඬුවම් කරන්නෙමි. පසු කලෙක, ඔවුන් මහත් ධන සම්භාරයක් ද සමඟ එතැනින් පිටත් ව එනු ඇත. 15එහෙත් ඔබ, සාමයෙන් යුතු ව ඔබේ මුතුන් මිත්තන් වෙත යනු ඇත; හොඳ මහලු වයසේදී භූමදාන කරනු ලබනු ඇත. 16හතර වන පරම්පරාවේදී ඔබෙන් පැවත එන්නන් යළි මෙහි පැමිණෙනු ඇත. මන්ද අමෝරිවරුන්ගේ අයුතුකම, උපරිම තත්වයට තවම පත් ව නැතැ” යි පැවසූ සේක.
17හිරු අවරට ගොස්, අඳුරු වැටුණු පසු, මෙන්න, දුම් දමන ගිනි කබලක් හා ඇවිළෙන ගිනි හුළක් සත්ව පළු දෙපෙළ මැදින් ගියේ ය. 18ඒ දවසේ ස්වාමින්වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් කළ සේක්, මෙසේ පැවසූ සේක: “ඔබෙන් පැවතෙන්නන්ට මම මේ දේශය දෙන්නෙමි. ඊජිප්තු ගංගාවේ#15:18 ඊජිප්තු ගංගාවේ එනම් ඊජිප්තුවේ දිය පාර හෝ ඊජිප්තුවේ දේශ සීමාව අදහස් විය හැක. සිට යුප්‍රටීස්#15:18 යුප්‍රටීස් එනම් පෙරාත් මහ ගංගාව තෙක් වූ 19කේනිවරුන්ගේ ද කෙනිස්සිවරුන්ගේ ද කද්මොනිවරුන්ගේ ද 20හිත්තිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද රෙෆායිවරුන්ගේ ද 21අමෝරිවරුන්ගේ ද කානානිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද යෙබූසිවරුන්ගේ ද දේශය මම ඔවුන්ට දෙන්නෙමි.”
Выбрано:
උත්පත්ති 15: SCV
Выделить
Поделиться
Сравнить
Копировать
Хотите, чтобы то, что вы выделили, сохранялось на всех ваших устройствах? Зарегистрируйтесь или авторизуйтесь
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.