උත්පත්ති 13
13
ආබ්‍රම් හා ලොත් වෙන්වීම
1එබැවින් ආබ්‍රම් තම භාර්යාව ද තමා සතු සියල්ල ද ගෙන, ඊජිප්තුවේ සිට නෙගෙබ්#13:1 නෙගෙබ් එනම් දකුණු දිශාව දෙසට ගියේ ය. ලොත් ද ඔහු සමඟ ගියේ ය. 2එළු බැටළු හා හරකා බානෙන් ද රන් හා රිදීයෙන් ද ආබ්‍රම් ඉතා ධනවත් ව සිටියේ ය.
3නෙගෙබ් සිට බෙතෙල් දක්වා ගමන් කළ ආබ්‍රම්, බෙතෙල් හා ආයි අතර මුලින් ඔහු කඳවුරු බැඳි ස්ථානයට පැමිණියේ ය. 4කලින් වර ඔහු පූජාසනයක් තනා තිබුණේ එහි ය. ආබ්‍රම් එහිදී ස්වාමින්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කළේ ය.
5මේ වන විට ආබ්‍රම් සමඟ ගිය ලොත්ට ද එළු බැටළු හා ගව රංචු ද කූඩාරම් ද තිබිණි. 6එබැවින් ඔවුන් දෙගොල්ලට එක් ව නඩත්තු වීමට තණ බිම්හි ඉඩ නො වී ය. ඔවුනට එක් ව විසීමට නො හැකි තරමට ඔවුන්ගේ සම්පත් අධික විය. 7එහෙයින් ආබ්‍රම්ගේ ගොපල්ලන් හා ලොත්ගේ ගොපල්ලන් අතර කලහ හට ගැනිණි. එකල ඒ දේශයෙහි කානානිවරු හා පෙරිස්සිවරු ද විසූහ.
8එබැවින් ලොත් ඇමතූ ආබ්‍රම්, “අපි ළඟ නෑයින් බැවින් ඔබ හා මා අතරේවත්, ඔබේ ගොපල්ලන් හා මගේ ගොපල්ලන් අතරේවත් කලහ ඇතිකර නො ගනිමු. 9මේ මුළු දේශය ම ඔබ ඉදිරිපිට තියෙනවා නො වේ ද? මගෙන් වෙන් වී යන්න; ඔබ වම් පැත්තට යතොත්, මම දකුණට යන්නෙමි. ඔබ දකුණු පැත්තට යතොත්, මම වමට යන්නෙමි” යි කීවේ ය.
10ලොත් නෙත් ඔසවා බැලී ය. සමස්ත යොර්දාන් තැන්න මනා ජල සම්පතින් යුතු ව, සොවර් දක්වා ම ස්වාමින්වහන්සේගේ උයන මෙන් ද ඊජිප්තු දේශය මෙන් ද තිබෙනු ඔහු දැක්කේ ය. (ඒ, ස්වාමින්වහන්සේ සොදොම හා ගොමොරාව විනාශ කර දැමීමට කලිනි.) 11එබැවින් ලොත් සමස්ත යොර්දාන් තැන්න තමාට තෝරා ගෙන, නැගෙනහිර දෙසට පිටත් විය. මෙසේ ඔවුහු එකිනෙකාගෙන් වෙන් වූහ. 12ආබ්‍රම් කානාන් දේශයෙහි පදිංචි විය. ලොත් යොර්දාන් තැන්නේ නගර අතර වෙසෙමින්, සොදොම සමීපයෙහි තම කූඩාරම් ගසා ගත්තේ ය. 13තවද සොදොම් වාසීහු දුෂ්ටයෝ වූවාහු, ස්වාමින්වහන්සේට එරෙහිව බොහෝ සේ පව් කළාහු ය.
14ආබ්‍රම් වෙතින් ලොත් වෙන් ව ගිය පසු, ස්වාමින්වහන්සේ ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබගේ නෙත් ඔසවා, ඔබ සිටින තැන සිට උතුර හා දකුණ ද නැගෙනහිර හා බටහිර ද දෙස බලන්න. 15ඔබ දකින මුළු මහත් දේශය ඔබටත්, ඔබෙන් පැවතෙන ඔබේ වංශයටත් මම සදහට ම දෙන්නෙමි. 16මම ඔබේ වංශය පොළොවේ දූලි මෙන් වැඩි කරන්නෙමි. යමකුට පොළොවේ දූලි ගැණිය හැකි වේ නම්, ඔබේ වංශයත් ගැණිය හැකි වනු ඇත. 17යන්න! දේශය දිගටත්, හරහටත් ඇවිදින්න. මන්ද මම එය ඔබට දෙන්නෙමි” යි පැවසූ සේක.
18එබැවින් ආබ්‍රම් තම කූඩාරම ඉවත් කොට, හෙබ්‍රොන්හි මම්රේගේ ආලෝන් වෘක්ෂ අසලට අවුත්, පදිංචි විය. එහි ස්වාමින්වහන්සේට පූජාසනයක් ඔහු ඉදි කළේ ය.
Выбрано:
උත්පත්ති 13: SCV
Выделить
Поделиться
Сравнить
Копировать
Хотите, чтобы то, что вы выделили, сохранялось на всех ваших устройствах? Зарегистрируйтесь или авторизуйтесь
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.