සෙකරියා 2

2
මිනුම් පටියක් ගත් මිනිසා
1ඉන්පසු මම ඇස් ඔසවා බැලීමි. මෙන්න! එවිට මා ඉදිරිපිට මිනුම් පටියක් අතැතිව සිටි මිනිසෙක්! 2මම ඔහු අමතමින්, “ඔබ යන්නේ කොහේ දැ?” යි ඇසීමි.
“යෙරුසලම මනින්නට; එය කොතෙක් දිග ද කෙතෙක් පළල දැයි බලන පිණිස යැ” යි ඔහු පිළිතුරු දිණි.
3එවිට මෙන්න, මා හා කතා කළ දේව දූතයා ඉදිරියට එත් ම, ඔහු හමුවීමට පැමිණි වෙනත් දේව දූතයෙක් 4ඔහුට කතා කොට, “දුවන්න; දුව ගොස් අර තරුණයාට මෙසේ කියන්න: ‘යෙරුසලම, එහි වෙසෙන්නට යන අධික ජනගහනය ද සතුන්-සීපාවුන් ද නිසා පවුරු නැතිව පවතිනු ඇත. 5මම ඇය වටා ගිනි පවුරක් වෙන්නෙමි. ඇය මධ්‍යයෙහි මම එහි තේජාලංකාරය වන්නෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
6“එනු! එනු! උතුරු දේශයෙන් පලා එනු” යි ස්වාමින්වහන්සේ පවසන සේක. “මන්ද අහසේ සතර සුළං දෙසට, රට රටවලට මම ඔබ විසුරුවා දැමුවෙමි” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
7“එනු! බබිලෝනි දියණිය සමඟ වෙසෙන්නෙනි, සියොන වෙත ගැලවී එනු!” 8මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඔබෙන් කොල්ල කෑ ජාතීන් වෙත මහිමයාණන් මා යැවූ පසු–මන්ද ඔබට අත තබන්නා, අත තබන්නේ උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට ය– 9“බලනු! ඔවුන්ට ඉහළින් මම මගේ අත ඔසවන්නෙමි. මන්ද ඔවුන්ට සේවය කළවුන් විසින් ම ඔවුන් කොල්ලකනු ලබනු ඇත.” එවිට සේනාංකවල ස්වාමින්වහන්සේ ම මා එවූ වග ඔබ දැනගනු ඇත.
10“එම්බා සියොන් දියණියෙනි, ජය ගොස නගන්න, ප්‍රීති වන්න. මෙන්න! මම එන්නෙමි. අවුත්, ඔබ අතරේ වෙසෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 11“ඒ දවසේ බොහෝ ජාතීන් ස්වාමින්වහන්සේ හා එක් වී, මගේ ජනයා බවට පත් වනු ඇත. මම ඔබ මධ්‍යයේ වෙසෙන්නෙමි.” එවිට සේනාංකවල ස්වාමින්වහන්සේ මා එවූ වග ඔබ දැනගනු ඇත. 12ස්වාමින්වහන්සේ ශුද්ධ දේශයේ තමන්ගේ ම උරුම කොටස වශයෙන් යූදා-බිම උරුම කර ගන්නා සේක්, යළිත් යෙරුසලම තෝරා ගන්නා සේක.” 13නිශ්ශබ්ද වනු! ස්වාමින්වහන්සේ ඉදිරියෙහි සියලු මිනිසුනි, උන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානයෙන් නැගිටුණු සේක.

Marker

Del

Kopier

None

Vil du ha høydepunktene lagret på alle enhetene dine? Registrer deg eller logg på