සෙකරියා 10

10
යූදා නගා සිටුවීම
1වසන්ත කාල වර්ෂා සෘතුවේ, ස්වාමින්වහන්සේගෙන් වර්ෂාව ඉල්ලන්න.
කුණාටුවේ වලාකුළු තනන්නේ ස්වාමින්වහන්සේ ය.
උන්වහන්සේ මහ වර්ෂා එවීමෙන්
කෙත්-වතුවලින් හැමට ම ගස් වැල් ලබා දෙන සේක.
2මන්ද ගෘහ දේවතා පිළිම මුළුමනින් ම ප්‍රයෝගකාරී ය.
පේන කියන්නෝ බොරු දර්ශන දැක,
ස්වප්න දුටු බව ව්‍යාජයෙන් අඟවා,
රැවැටිලිකාර සැනසිල්ලක් මවා පෙන්වති.
එබැවින්, ජනයා බැටළුවන් සේ මංමුළා ව යති.
එඬේරකු නැතිකමින් පීඩා විඳිති.
3“මගේ මහත් කෝපය එඬේරුනට එරෙහිව ය.
නායකයින්ට මම දඬුවම් කරමි.
මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේ
තම රැළ වන යූදා වංශික ජනයා සුරකින සේක්,
තමන්ගේ රාජකීය යුද්ධ අශ්වයා බවට ඔවුන් පත් කරන සේක.
4මුදුන් කණුව එන්නේ යූදා වෙතිනි;
කූඩාරම් කූඤ්ඤය මෙන් ම
සංග්‍රාම දුන්න ඔහු වෙතිනි;
පාලකයින් හැම කෙනකු ම ඔහු වෙතිනි.
5ඔවුහු යුධ-බලවතුන් මෙන්
යුද්ධයේදී තම සතුරන් වීදිවල මඩේ පාගා දමනු ඇත.
ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ සිටින බැවින්
ඔවුන් සටන් වැද, අශ්වාරෝහක සතුරන් පරදවනු ඇත.
6“මම යූදා වංශය ශක්තිමත් කර,
යෝසෙප් වංශය මුදවන්නෙමි.
මා ඔවුන්ට අනුකම්පා ඇති බැවින්
මම ඔවුන් ආපසු කැඳවන්නෙමි.
මා ප්‍රතික්ෂේප නො කරන ලද්දවුන් මෙන්
ඔවුන් සිටිනු ඇත.
මන්ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
මම ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි.
7එවිට එප්‍රායිම්වරු රණවිරුවන් බවට පත් වන්නෝ ය.
මිදි යුෂ බිවූ කලෙක මෙන් ඔවුන්ගේ හදවත් ප්‍රීතියෙන් පිනා යනු ඇත.
ඔවුන්ගේ දරුවන් ඒ දැක, ප්‍රමුදිත වනු ඇත.
ඔවුන්ගේ හදවත් ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති වනු ඇත.
8එඬේරකු මෙන් මම ඔවුන්ට සිවුරුවම් බා සංඥාවක් කර,
ඔවුන් ඇතුළට ගන්නෙමි.
මන්ද ඔවුන් නිදහස් කළේ මා ය.
පෙර මෙන් ඔවුන් ජනගහනයෙන් අධික වනු ඇත.
9මම, ජාතීන් අතරෙහි ඔවුන් බීජ මෙන් විසුරුවා හරින්නෙම් නමුදු,
දුර බැහැර දේශයන්හි සිට ඔවුන් මා සිහිපත් කරනු ඇත.
ඔවුන් තම දරුවන් හා සමඟ ජීවත් ව සිට,
ආපසු එනු ඇත.
10ඊජිප්තු දේශයේ සිට මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි.
අසිරියාවෙන් මම ඔවුන් එක් රැස් කරන්නෙමි.
එහි ඔවුන්ට ප්‍රමාණවත් තරම් ඉඩකඩ නොමැති වන තරමට
මම ඔවුන් ගිලියාද් දේශයට හා ලෙබනොන් දේශයට ගෙනෙන්නෙමි.
11කරදර-විපත් මැදින් ඔවුන් යන කල,
සයුරු රළ රැළි දමනය වනු ඇත.
නයිල් නදියේ ගැඹුරු තැන් සියල්ල ද සිඳී යනු ඇත.
අසිරියාවේ අහංකාරය පහත් කරලනු ඇත.
ඊජිප්තුවේ රාජ සෙංකෝලය පහ වී යනු ඇත.
12 ස්වාමින්වහන්සේ තුළ මම ඔවුන් බලවත් කරන්නෙමි.
උන්වහන්සේගේ නාමයෙන් ඔවුන් ගමන් කරනු ඇතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

Marker

Del

Kopier

None

Vil du ha høydepunktene lagret på alle enhetene dine? Registrer deg eller logg på