උත්පත්ති 28

28
1එබැවින් ඊසාක්, යාකොබ් කැඳවා, ඔහුට ආශිර්වාද කර, අවවාද කරමින්, “කානානීය ස්ත්‍රියක ඔබේ බිරිඳ කර නො ගන්න. 2නැගිට, පදන්-අරාම්හි ඔබේ මවගේ පියා වන බෙතුවෙල්ගේ ගෙදරට යන්න; එහිදී ඔබේ මවගේ සහෝදර ලාබාන්ගේ දූවරුන් අතරින් ඔබට බිරිඳක ලබා ගන්න. 3සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කර, ඔබ සඵල කර, ජන සමාජයක් බවට ඔබ පත් වන තුරු, ගණනින් ඔබ වැඩි වර්ධන කරන සේක්වා! 4පිටදේශක්කරුවකු සේ දැන් ඔබ වෙසෙන මේ දේශය වන දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් දේශය, ඔබ උරුම කර ගන්නා පිණිස, උන්වහන්සේ ආබ්‍රහම්ට දුන් ආශිර්වාදය ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් දෙන සේක්වා” යි පැවසී ය. 5ඉන්පසු ඊසාක්, යාකොබ් පිටත් කර හැරියේ ය. ඔහු පදන්-අරාම්හි ලාබාන් වෙත පිටත් ව ගියේ ය. ලාබාන් අරාමීය බෙතුවෙල්ගේ පුත්‍රයා ය; යාකොබ්ගේ හා ඒසව්ගේ මව වූ රෙබෙකාගේ සහෝදරයා ය.
6මේ අතර, ඊසාක්, යාකොබ්ට ආශිර්වාද කළ බැව් ද පදන්-අරාම් වෙතින් ඔහුට බිරිඳක ලබා ගැනීමට ඔහු එහි යැවූ බැව් ද ඔහුට ආශිර්වාද කරද්දී, “කානානීය ස්ත්‍රියක ආවාහ කර නො ගත යුතු යැ” යි ඔහුට අණ කළ බැව් ද ඒසව් දැනගත්තේ ය. 7යාකොබ් තම පියාටත්, තම මවටත් කීකරු ව පදන්-අරාම් වෙත ගිය බැව් ද ඔහු දිටී ය. 8කානානීය ස්ත්‍රීන් තම පියා වූ ඊසාක්ට කොතරම් නො රිසිදැයි ඒසව් වටහා ගත්තේ ය. 9එබැවින් ඒසව්, තමාට සිටි භාර්යාවනට අමතරව ඉෂ්මායෙල් වෙත ගොස්, මහලත් ද ආවාහ කර ගත්තේ ය. නෙබායොත්ගේ සහෝදරිය වූ ඈ, ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ දියණිය ය.
බෙතෙල්හි යාකොබ්ගේ සිහිනය
10යාකොබ්, බෙයර්ෂෙබා වෙතින් පිටත් ව, හාරාන් බලා ගමන් ගත්තේ ය. 11ඔහු එක්තරා තැනකට ළඟා වූ කල, හිරු බැස ගොස් තිබුණෙන්, රැය ගත කරන්නට ඔහු එතැන නැවතුණේ ය. එතැන වූ ගලක් ගෙන, එය තම හිසට තබා ගත් ඔහු නිදන්නට එතැන වැතිරුණේ ය. 12ඔහු සිහිනයක් දුටුවේ ය. පොළොව මත සිට ඉහළට පිය ගැට පෙළකි; එහි මුඳුන ස්වර්ගයේ ගෑවිණි. දෙවියන්වහන්සේගේ දූතයෝ එයින් නගිමින්, බසිමින් සිටියහ. 13මෙන්න! ඊට ඉහළින් සිට ස්වාමින්වහන්සේ කතා කරමින්, “ඔබේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේ මම ය; ඔබ වැතිර සිටින මේ දේශය මම ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් දෙන්නෙමි. 14ඔබගේ දරු පරපුර පොළොවේ දූලි මෙන් වැඩි වන්නේ ය. ඔබ බටහිරටත්, නැගෙනහිරටත්, උතුරටත්, දකුණටත් පැතිර යන්නේ ය. මිහි පිට සියලු පවුල් ඔබ තුළින් හා ඔබගේ වංශය තුළින් ආශිර්වාද ලබන්නාහ. 15මෙන්න! මම ඔබ සමඟ සිටිමි; ඔබ යන යන තැන ඔබ රැක බලා, මම මේ දේශයට ආපසු ඔබ ගෙනෙන්නෙමි. මා ඔබට පොරොන්දු වූ දෑ ඉටු කරන තුරු මම ඔබ අත්නාරින්නෙමි” යි පැවසූ සේක.
16තම නින්දෙන් පිබිදුණු යාකොබ්, “ස්වාමින්වහන්සේ සැබවින් ම මෙතැන සිටින සේක. ඒ වග මා දැන සිටියේ නැතැ” යි පැවසී ය. 17ඔහු භයපත් ව, “මොන තරම් භයංකර තැනක් ද මේ! මේ අන් කවරක් හෝ නො ව දෙවියන්වහන්සේගේ ගෘහයයි. මේ ස්වර්ගයේ දොරටුවයි” පැවසී ය.
18අලුයම් උදෙන් ම පිබිදුණු යාකොබ් තම හිසට යටින් තබා ගත් ගල ගෙන, සැමරුම් කණුවක් කොට සිටුවා, එහි මුඳුන මත තෙල් වත් කළේ ය. 19ඔහු එම ස්ථානයට බෙතෙල්#28:19 බෙතෙල් එනම් දෙවියන්වහන්සේගේ ගෘහය යයි නම් තැබී ය. කලින්, ඒ නගරය හැඳින්වූයේ ලූස් නමිනි.
20ඉන්පසු යාකොබ් බාරයක් වෙමින්, “දෙවියන්වහන්සේ මා සමඟ සිටිමින්, මා යන මේ ගමනේදී මා රැක බලා ගනිමින්, මට කෑමට ආහාර ද ඇඳීමට ඇඳුම් ද සපයා දෙමින්, 21මගේ පියාගේ ගෙදරට මා සුරැකි ව ආපසු එන පිණිස කටයුතු කරන්නේ නම්, ස්වාමින්වහන්සේ මගේ දෙවියන්වහන්සේ වන සේක. 22සැමරුම් කණුවක් කොට මා පිහිටූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේ ය. ඔබ මට දෙන සියල්ලෙන් දසයෙන් කොටසක් මම ඔබට දෙන්නෙමි” යි පැවසී ය.

Marker

Del

Sammenlign

Kopier

None

Vil du ha høydepunktene lagret på alle enhetene dine? Registrer deg eller logg på

Video om උත්පත්ති 28