උත්පත්ති 22

22
ආබ්‍රහම් සෝදිසි කරනු ලැබීම
1මේ සිදුවීම්වලින් ඉක්බිති, දෙවියන්වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කළ සේක. උන්වහන්සේ, “ආබ්‍රහම්” යැයි ඔහු ඇමතූ සේක.
“මම මෙහේ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
2දෙවියන්වහන්සේ කතා කරමින්, “ඔබේ පුත්‍රයා, ඔබ ප්‍රේම කරන ඔබේ එක ම පුත්‍රයා, ඊසාක් කැටුව, මොරීයා පෙදෙසට යන්න. එහිදී මා ඔබට පවසන කන්ද මත දවන පූජාවක් කොට ඔහු ඔප්පු කරන්නැ” යි පැවසූ සේක.
3පසු දා අලුයම් උදෙන් අවදි වූ ආබ්‍රහම්, තම බූරුවා ගමනට සූදානම් කොට, තම සේවකයින් දෙදෙනකු ද තම පුත් ඊසාක් ද කැටුව, දවන යාග පූජාවට දර ද පලා ගෙන, දෙවියන්වහන්සේ ඔහුට පවසා තිබූ ස්ථානය බලා පිටත් ව ගියේ ය. 4තුන් වන දවසේ ආබ්‍රහම් ඇස් ඔසවා බැලූ කල, එම ස්ථානය ඈතින් දුටුවේ ය. 5එවිට තම සේවකයින් ඇමතූ ආබ්‍රහම්, “බූරුවා සමඟ මෙහි නැවතී සිටින්න; ළමයාත්, මාත් අතැනට යනවා. නමස්කාර කොට, අපි නැවතත් ඔබ වෙත එන්නම්” යි කීවේ ය.
6ආබ්‍රහම් දවන යාග පූජාව සඳහා වූ දර ගෙන, තම පුතු ඊසාක් මත තබා, ගින්දර හා පිහිය තම අතින් ගෙන, දෙදෙන එක් ව ගමන් ගනිද්දී, 7“පියාණෙනි!” යි ඊසාක් තම පිය ආබ්‍රහම් ඇමතී ය.
“මම මෙහේ, මා පුත” යි ආබ්‍රහම් පිළිතුරු දුන්නේ ය.
“ගිනිත්, දරත් තියේ; ඒත් කෝ! දවන යාග පූජාවට බැටළු පැටවෙක්?” යැයි ඇසී ය.
8එවිට ආබ්‍රහම්, “මා පුත, දෙවියන්වහන්සේ ම දවන යාග පූජාවට බැටළු පැටවා සපයා ගනු ඇතැ” යි පිළිතුරු දුන්නේ ය. දෙදෙනා එක් ව මෙසේ ගමන් ගත්හ.
9දෙවියන්වහන්සේ ඔහුට පවසා තිබූ තැනට ළඟා වූ කල, එතැන පූජාසනයක් ගොඩ නැගූ ආබ්‍රහම් ඒ මත දර අසුරා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය මත වූ දර ගොඩ උඩ ඔහු තැබී ය. 10ඉන්පසු අත දිගු කළ හේ තම පුතු ඝාතන කරන්නට පිහිය අතට ගත්තේ ය. 11එහෙත් ස්වාමින්වහන්සේගේ දූතයා, “ආබ්‍රහම්! ආබ්‍රහම්!” යැයි ස්වර්ගයේ සිට ඔහුට හඬ ගැසී ය.
එවිට ඔහු, “මම මෙහේ” යි කීවේ ය.
12එවිට දූතයා, “ළමයාට අත තියන්න එපා. ඔහුට කිසිවක් කරන්න එපා. දෙවියන්වහන්සේට ඔබ භය පක්ෂපාත බව දැන් මම දනිමි. මන්ද ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා මට පූජා කිරීමට ඔබ පැකිළුණේ නැතැ” යි කීවේ ය.
13ආබ්‍රහම් ඇස් ඔසවා අවට බැලී ය. එවිට මෙන්න! අකුලක අං පැටලී සිටි බැටළුවෙක්! එතැනට ගොස්, ඌ අල්ලා ගත් ආබ්‍රහම්, තම පුත් ඊසාක් වෙනුවට දවන යාග පූජාවක් කොට ඌ ඔප්පු කළේ ය. 14එබැවින් ආබ්‍රහම් එම ස්ථානයට යෙහෝවා-යීරේ#22:14 යෙහෝවා-යීරේ හෙවත් යහ්වේ-යීරේ එනම් ස්වාමින්වහන්සේ සපයා දෙන සේක. යන නම තැබුවේ ය. “ස්වාමින්වහන්සේගේ කන්දේදී සපයා දෙනු ලැබේ” යන කියමන අද දවස දක්වා ව්‍යවහාර වේ.
15 ස්වාමින්වහන්සේගේ දූතයා දෙවන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම් අමතමින්, 16“ඔබ මෙසේ කළ නිසාත්, ඔබේ පුතු, ඔබේ එක ම පුතු පූජා කිරීමට ඔබ නො පැකිළුණු නිසාත්, මම මගේ ම නාමයෙන් ඔබට මෙසේ දිවුරමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 17මම සැබවින් ම ඔබට ආශිර්වාද කරන්නෙමි; ඔබෙන් පැවතෙන්නන් අහසේ තරු ද මුහුදු වෙරළේ වැලි ද මෙන් අසංඛ්‍ය වන්නට සලස්සමි. ඔබෙන් පැවතෙන්නෝ ඔවුන්ගේ සතුරන්ගේ දොරටු අත්පත් කර ගන්නෝ ය. 18ඔබ මට කීකරු වූ නිසා, මිහි පිට සියලු ජාතීන් ඔබේ වංශය තුළින් ආශිර්වාද ලබනු ඇතැ” යි පැවසී ය.
19ඉන්පසු ආබ්‍රහම් තම සේවකයින් වෙත ආපසු ආයේ ය. ඔවුහු එක් ව බෙයර්ෂෙබා වෙත පිටත් වූහ. ආබ්‍රහම්, බෙයර්ෂෙබාහි විසී ය.
නාහෝර්ගේ පුත්තු
20මින් මද කලකට පසු, “ඔබේ සහෝදර නාහෝර්ට දාව මිල්කා ද දැන් දරුවන් බිහි කර ඇතැ” යි ආබ්‍රහම්ට දන්වනු ලැබිණ.
21ඔවුන්ගේ කුලුඳුලා වූයේ ඌස් ය. ඌස්ගේ සහෝදරයා බූස් ය.
අරාම්ගේ පියා වූ කෙමුවෙල් ද
22කෙසෙද්, හසෝ, පිල්දාෂ්, ජිද්ලාෆ් හා බෙතුවෙල් ය.
23බෙතුවෙල්, රෙබෙකාගේ පියා ය.
ආබ්‍රහම්ගේ සහෝදර නාහෝර්ට මිල්කා බිහි කර දුන් පුතුන් අටදෙනා ඔවුහු ය.
24නාහෝර්ගේ අතිරේක බිරිඳ වූ රෙයූමා ද පුතුන් බිහි කළා ය.
තෙබා, ගහම්, තහෂ් හා මයකා යනු ඒ පුත්තු ය.

Marker

Del

Sammenlign

Kopier

None

Vil du ha høydepunktene lagret på alle enhetene dine? Registrer deg eller logg på

Video om උත්පත්ති 22