Лого на апликацијата „Библија“
Икона за пребарување

ක්‍රියා 28

28
මෝල්ටාහි ආගන්තුක සත්කාර
1ඒ දූපත, මෝල්ටා නමින් හැඳින්වෙන වග අප දැනගත්තේ, එසේ ගැලවී ගොඩ බිමට ආ පසුව ය. 2දූපත් වාසීහු අපට අසාමාන්‍ය ව කාරුණික වූහ. වැස්ස හා සීතල නිසා, ඔවුහු ගිනි මැලයක් දල්වා සාදරයෙන් අප හැම පිළිගත්හ. 3දර මිටියක් එකතු කළ පාවුල්, එය ගිනි ගොඩට දැමීමට ළං වූ විට, රස්නය නිසා දර අතරින් පිටතට ආ පොළඟෙක් ඔහුගේ අතේ එල්ලිණ. 4සර්පයා පාවුල්ගේ අතේ එල්ලෙනු දුටු දූපත් වාසීහු, “සැකයක් නැහැ; මේ මිනිහා මිනී මරුවෙක්; මිනිහා මුහුදින් බේරුණත් ඔහුට ජීවත්වීමට යුක්ති ධර්මය ඉඩ දී නැතැ” යි තමන් අතරේ කියා ගත්හ. 5එහෙත් පාවුල් අත ගසා, සර්පයා ගින්නෙහි හෙළා, කිසි අනතුරක් නැතිව සිටියේ ය. 6ඔහු ඉදිමෙනු ඇත කියා හෝ හදිසියේ ම මැරී වැටෙනු ඇත කියා ඔවුහු බලා සිටියහ. එසේ බොහෝ වේලාවක් බලා සිටි නමුදු ඔහුට කිසි විපතක් සිදු නො වූ බැවින් තම අදහස් වෙනස් කර ගත් ඔවුහු, ඔහු දෙවියෙකැයි කීහ.
7දූපත් නායක පබ්ලියස්ට අයත් වතු යායක් ඒ අසල තිබිණි. තම නිවසට අප පිළිගත් ඔහු දවස් තුනක් අපට ආගන්තුක සත්කාර කළේ ය. 8ඔහුගේ පියා උණෙන් හා අතීසාරයෙන් පෙළෙමින් ඔත්පළ ව සිටියේ ය. පාවුල් ඔහු සිටි තැනට ගොස්, යාච්ඤා කර, ඔහු පිට අත් තබා, ඔහු සුව කළේ ය. 9එය සිදු වූ පසු දිවයිනේ සෙසු රෝගීහු ද පැමිණියාහු සුව කරන ලදහ. 10ඔවුහු අපට බොහෝ ගරු සත්කාර කළහ. අප යළි යාත්‍රා කරන්නට සූදානම් වූ කල, අපට අවශ්‍ය දෑ ඔවුහු නැවට පැටවූහ.
රෝමයට ළඟාවීම
11ශීත කාලය ඒ දූපතේ ගත කළ අපි තුන් මසකට පසු, නැවක නැගී යළි යාත්‍රා කළෙමු. “නිඹුල් සොහොයුරු” යන ලාංඡනයෙන් යුතු එය ඇලෙක්සන්ද්‍රියාවේ නැවකි. 12සිරාකුස වෙත පැමිණි අපි දවස් තුනක් එහි ගත කළෙමු; 13එතැන් සිට යාත්‍රා කර, රෙගියුම් වෙත ළඟා වීමු. ඊට පසු දින දකුණු දිග සුළඟ හැමූයෙන්, අපි ඊළඟ දවසේ පොතියොලි වෙත ළඟා වීමු. 14එහිදී අපට සහෝදරයින් කීප දෙනෙක් හමු විණ. තමන් හා සතියක් ගත කරන ලෙස ඔවුහු අපට ඇරියුම් කළහ. මෙසේ අපි රෝමයට පැමිණියෙමු. 15අප එන වග සැල වූ එහි සහෝදරයෝ අප මුණගැසෙන්නට අප්පියුස් වෙළඳ සංකීර්ණය හා තානායම් තුන දක්වා අපගේ පෙර මඟට ආහ. ඔවුන් ඇස ගැසුණු කල, දෙවියන්වහන්සේට තුති පිදූ පාවුල් ධෛර්යවත් විය. 16අප රෝමයට පැමිණි පසු, එක් හේවායකුගේ මුරකාව යටතේ තමන් කැමති තැනක සිටින්නට පාවුල්ට අවසර ලැබිණි.
පාවුල් සහ යුදෙව් නායකයින්
17තුන් දිනකට පසු පාවුල් යුදෙව් නායකයින් කැඳවා යැවී ය. ඔවුන් රැස් වූ කල ඔවුන් ඇමතූ පාවුල්, “මා සහෝදරයිනි, අප ජනයාට හෝ අපේ පියවරුන්ගේ චාරිත්‍රවලට එරෙහිව මා කිසි වරදක් නො කළ නමුත් යෙරුසලමේදී මා අත්අඩංගුවට ගෙන රෝමවරුන් අතට මා පත් කරනු ලැබුවා. 18ඔවුන් මා විභාග කළ විට, මරණ දණ්ඩනයට හේතු වන අපරාධයක් සිදු වී නැති බැවින්, මා නිදහස් කරන්නට අදහස් කළා. 19එහෙත් යුදෙව්වරුන් ඊට විරුද්ධ වූ නිසා සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලීමට මා පෙලඹුණා. එසේ කළේ මගේ ම ජනතාවට එරෙහිව වරද පවරන අදහසින් නො වේ. 20මේ හේතුව නිසයි ඔබ දකින්නටත්, ඔබ හා කතා කරන්නටත් මා ඔබ කැඳවූයේ; මෙසේ මා යදමින් බඳිනු ලැබ සිටින්නේ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව නිසා” යි පැවසී ය.
21ඔවුහු පිළිතුරු දෙමින්, “යුදයේ සිට ඔබ ගැන සඳහන් ලිපි කිසිවක් අපට ලැබී නැහැ. එහි සිට මෙහි ආ අපගේ සහෝදරයින්ගෙන් කිසිවකු ඔබ ගැන නරක ආරංචියක් දැන්වූයේවත්, කතා කළේවත් නැහැ. 22එහෙත් ඔබේ මතය අසා දැනගන්නට අපි කැමතියි; මොකද මේ නිකායට එරෙහිව හැම තැනක ම කතා කෙරෙන වග අප දන්නවා” යි කීහ.
23පාවුල් හමුවීමට දිනයක් නියම කර ගත් ඔවුහු, එදින ගණනින් අති මහත් පිරිසක් පාවුල්ගේ නවාතැනට රැස් වූහ. පාවුල් උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කරුණු පැහැදිලි කරමින්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව හා දිවැසිවරුන්ගේ ලියවිලි ගෙන හැර පාමින් යේසුස්වහන්සේ ගැන ඔවුන්ට ඒත්තු ගන්වන්නට උත්සාහ ගත්තේ ය. 24ඔහු කී දෑවලින් ඇතමුන් ඒත්තු ගැන්විණි; එහෙත් සෙසු අය විශ්වාස කළේ නැත. 25එබැවින් ඔවුහු එතැනින් බැහැර ව ගියේ ඔවුනොවුන් අතරේ මත භේද ඇති ව ය. ඔවුන් පිට වී යන්නට පෙර පාවුල් මෙසේ ප්‍රකාශ කළේ ය: “දිවැසිවර යෙසායා මගින් ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබේ පියවරුන්ට පැවසූ දේ කොතරම් මනාද! ඒ මෙසේයි:
26“ ‘මෙම ජනයා වෙත ගොස්, මෙසේ පවසන්න,
“නිරතුරු ඔබ අසනු ඇත. එහෙත් වටහා ගන්නේ නැත;
නිරතුරු ඔබ දකිනු ඇත. එනමුත් සිතට ගන්නේ නැත.”
27මන්ද තමන්ගේ ඇස්වලින් නො දක්නා පිණිස ද,
තම කන්වලින් නො අසන පිණිස ද,
තමන්ගේ සිත්වලින් වටහා නො ගන්න පිණිස ද,
සුවය ලබන්නට මා වෙත නොහැරෙන පිණිස ද,
මොවුන්ගේ හදවත් දැඩි ව තිබේ.
ඔවුහු නො අසන කන් ඇති ව,
තම ඇස් පියාගෙන සිටිති’#28:27 යෙසා 6:9,10
යනුයි.
28“එබැවින් දෙවියන්වහන්සේගේ මේ ගැලවීම අන්‍ය-ජාතීන් වෙත ගෙන යනු ලබන වග, දැනගනිත්වා! ඔවුන් ඊට සවන් දෙනු ඇතැ” යි පැවසී ය. 29පාවුල් එසේ කී පසු යුදෙව්වරු තම තමන් අතර උණුසුම් ව වාද කරමින් ඉවත් ව ගියහ.#28:29 ඇතැම් පුරාණ අත් පිටපත්වල මෙම පදය ඇතුළත් නො වේ.
30ඊළඟ දෙවසර පාවුල් වාසය කළේ, ඔහුගේ ම වියදමින් කුලියට ගත් නිවසක ය. තමන් හමුවීමට එහි පැමිණි සැවොම සාදරයෙන් පිළිගත් ඔහු, 31කිසිදු බාධාවකින් තොර ව, එඩිතර ව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේශනා කරමින්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පිළිබඳව ඉගැන්වී ය.

Селектирано:

ක්‍රියා 28: SCV

Нагласи

Копирај

Спореди

Сподели

None

Дали сакаш да ги зачуваш Нагласувањата на сите твои уреди? Пријави се или најави се