සෙෆනියා 3

3
යෙරුසලමට එරෙහිව
1කැරලිකාරවූත්, දූෂිතවූත් තලා-පෙළන්නන්ගේ පුරවරයට
දුක්-විපත් වේ!
2ඇය කිසිවකුට අවනත නැත;
වරද හදා ගැනීම ද පිළිගන්නේ නැත;
ඇය ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නේ නැත;
තම දෙවියන්වහන්සේ වෙත ළඟා වන්නේ ද නැත.
3ඈ මධ්‍යයේ සිටින අධිපතීහු
ගොරවන සිංහයෝ ය.
ඇගේ පාලකයෝ උදය වන විට කිසිවක් ඉතිරි නො කරන,
සවස්-යාමයේ වෘකයෝ ය.
4ඇගේ දිවැසිවරු අස්ථිර ය;
ඔවුහු විශ්වාසය කඩ කරන මිනිස්සු ය.
ඇගේ පූජකයෝ, ශුද්ධස්ථානය කෙලෙසමින්,
ව්‍යවස්ථාවට බලහත්කාර කරති.
5එහෙත්, ඇය මධ්‍යයේ සිටින ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ ය;
උන්වහන්සේ කිසි වරදක් නො කරන සේක.
උදයෙන් උදය උන්වහන්සේ තම යුක්තිය ඉටු කරන සේක්,
කිසි දින එය නොවරද්දන සේක.
එහෙත් අදමිටුවෝ ලජ්ජාව නො හඳුනති.
යෙරුසලම පසුතැවිලි වුණේ නැත
6“මම ජාතීන් සිඳ දැමුවෙමි.
ඔවුන්ගේ බළකොටු බිඳ දමනු ලැබ ඇත.
කිසිවකුත් ගමන් නො කරන ලෙස
මම ඔවුන්ගේ වීදි ජනශූන්‍ය වන්නට හැරියෙමි.
ඔවුන්ගේ පුරවර විනාශ කර දමා ඇත.
කිසිවකු එහි නැත; වැසියෙකු නැත.
7පුරවරය ඇමතූ මම,
‘සැබවින් ම නුඹ මට භය පක්ෂපාතී වනු ඇත;
වරද හදා ගැනීමට කැමති වනු ඇතැ’ යි කීවෙමි.
එසේ වී නම්, ඇගේ වාසස්ථාන සිඳ දමන්නේ නැත.
මගේ සියලු දඬුවම් ඇය පිටට එන්නේ ද නැත.
එහෙත් තමන් කළ සියල්ලෙහි දී දූෂිත ව ක්‍රියා කරන්නට
ඔවුහු තවමත් ලොල් වෙති.
8එබැවින් මා ගැන, සාක්ෂිය දීමට මා නැගී සිටින දවස ගැන,
බලා-සිටින්නැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“මගේ උදහස, මගේ රුදුරු කෝපය
ඔවුන් පිට වගුරු වන පිණිස,
ජාතීන් රැස් කරන්නට,
රාජ්‍යයන් කැඳවන්නට මම තීරණ කළෙමි.
මගේ ඊර්ෂ්‍යා සහගත කෝප ගින්න
මුළු ලෝකය ම දවා දමනු ඇත.
ඉශ්‍රායෙල් යළි ස්ථාපිත කරනු ලැබීම
9“එයින් පසු, ජාතීන් සැවොම ස්වාමින්වහන්සේගේ නාමයෙන් හඬ ගසා,
එක සිතින් උරෙන්-උර උන්වහන්සේට මෙහෙ කරන පිණිස,
මම ඔවුන්ගේ තොල් පවිත්‍ර කරන්නෙමි.
10විසුරුවන ලද මගේ ජනයා වන
මට නමස්කාර කරන්නන්,
කූෂ් ගංගාවලට එහා සිට මට පූජා ගෙනෙනු ඇත.
11මා හට කරන ලද සියලු වැරදි ගැන
ඒ දවසේ ඔබ ලජ්ජාවට පත් කරන්නේ නැත;
මන්ද, තමන්ගේ මාන්නය ගැන ප්‍රීති වන්නන්
මේ පුරවරයෙන් මම ඉවත් කරන්නෙමි.
කිසි දින යළි ඔබ මගේ ශුද්ධ කන්දේදී
උඩඟු නො වනු ඇත.
12එහෙත්, ස්වාමින්වහන්සේගේ නාමය තුළ
සරණය සොයන,
විනීතවූවන් හා නිහතමානීන්
මම නුඹ තුළ ඉතිරි කරන්නෙමි.
13ඉශ්‍රායෙල් ඉතිරි ස්වල්ප දෙනා
කිසි අයුක්තියක් නො කරනු ඇත.
ඔවුන් බොරු කියනු නැත.
ඔවුන්ගේ කතාවෙහි කිසි වංචාවක් ගැබ් නො වනු ඇත.
ඔවුන් කා බී සැනසිල්ලේ හිඳිනු ඇත.
ඔවුන් බිය ගන්වන්නට කෙනකු ද නො වනු ඇත.”
14එම්බා සියොන් දියණිය, ගී ගයන්න!
එම්බා ඉශ්‍රායෙල්, ප්‍රීති ඝෝෂා නගන්න!
එම්බා යෙරුසලම් දියණිය,
ඔබේ මුළු හදින් ම ප්‍රීති වන්න; ප්‍රමෝද වන්න.
15 ස්වාමින්වහන්සේ ඔබේ දඬුවම ඉවත් කළ සේක;
උන්වහන්සේ ඔබේ සතුරන් ආපසු හැරවූ සේක.
ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවන් වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය.
යළි කිසි කල කිසි ආපදාවකට ඔබ බිය නො වේ.
16ඒ දවසේ
ඔවුන් යෙරුසලමට මෙසේ කියනු ඇත:
“එම්බා සියොන, බිය නො වන්න;
ඔබගේ අත් එල්ලා නො වැටේවා.
17ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අතරෙහි ය.
උන්වහන්සේ ගලවන්නට බලවත් තැනැන්වහන්සේ ය.
උන්වහන්සේ ඔබ ගැන ඉමහත් ව ප්‍රමෝද වන සේක;
උන්වහන්සේ තම ප්‍රේමයෙන්, ඔබට තවත් තරවටු නො කරන සේක.
උන්වහන්සේ ගී ගයමින්, ඔබ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.”
18“නියමිත මංගල්‍ය පිළිබඳ ශෝක වන්නන් ඔබ වෙතින්
මම ඉවත් කරන්නෙමි.
ඒවා ඔබට බරකි; අවලාදයකි.
19ඔබට පීඩා කළ සියල්ලන් සමඟ
ඒ දවසේ මම ගණන් බේරන්නෙමි.
මම කොරුන් මුදා ගෙන,
විසුරුවනු ලැබූවන් රැස් කරන්නෙමි.
ඔවුන් නින්දාවට පත් හැම දේශයකදී ම
මම ඔවුන්ට ප්‍රශංසාවත්, ගෞරවයත් ගෙන දෙන්නෙමි.
20එකල්හි මම ඔබ එක් රැස් කරන්නෙමි.
එකල්හි මම ඔබ ගෙදර ගෙනෙන්නෙමි.
ඔබගේ ඇස් පනා පිට ම
මම ඔබේ භාග්‍ය යළි ස්ථාපිත කරන කල,
මිහි පිට සියලු ජනයා අතරේ මම ඔබට
ගෞරවයත්, ප්‍රශංසාවත් ගෙන දෙන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요