සෙෆනියා 2

2
යූදා සතුරනට එරෙහිව
යූදා පසුතැවිලිවීමට කැඳවනු ලැබීම
1එක් රැස්වනු, එම්බා නිර්ලජ්ජිත ජාතිය,
එක් රැස්වනු!
2ඒ දවස බොල් පොතු මෙන් පහව යන
නියම කරන ලද කාලය උදාවන්නට පෙර,
ස්වාමින්වහන්සේගේ රුදුරු කෝපය
ඔබ පිට පතිත වන්නට පෙර,
ස්වාමින්වහන්සේගේ උදහසේ දවස
ඔබ පිට පතිත වන්නට පෙර එක් රැස්වනු.
3උන්වහන්සේ අණ කරන දෑ කරන,
දේශයේ නිහතමානීන් වන ඔබ හැම ස්වාමින්වහන්සේ සොයන්න;
දමිටුකම සොයන්න, නිහතමානීත්වය සොයන්න;
එවිට ඇතැම් විට, ස්වාමින්වහන්සේගේ කෝපයේ දවසේදී
ඔබට ආවරණයක් ලැබෙනු ඇත.
පිලිස්තියාවට එරෙහිව
4ගාසා අතැර දමනු ලැබේ,
අෂ්කෙලොන් ගරා වැටී යනු ඇත.
අෂ්දෝද් ජනයා මද්දහනයේදී පලවා හරිනු ලැබේ;
එක්‍රෝන් මුලිනුදුරා දමනු ලැබේ.
5මුහුදුබඩ වෙසෙන්නන් වන එම්බා කෙරේතිවර ජාතීනි,
නුඹලාට දුක්-විපත් පැමිණේ.
ස්වාමින්වහන්සේගේ වචනය නුඹට එරෙහිව ඇත,
පිලිස්තිවරුන්ගේ දේශය වන එම්බා කානාන්,
“මම නුඹ විනාශ කරන්නේ,
කිසිවකුත් ඉතිරි නො වන්නට ම ය.”
6මුහුදු වෙරළබඩ ප්‍රදේශය, නුඹලා තණ බිම් වන්නේ ය.
එඬේරුන් සතුන් කවන දෙනි ද
බැටළු-එළු ගාල් ද වන්නේ ය.
7වෙරළබඩ පෙදෙස
යූදා වංශයේ ඉතිරි ස්වල්ප දෙනාට අයිති වනු ඇත.
ඔවුන් එහි තණ බිම් සපයා ගනු ඇත.
සවස් වේලේ
ඔවුන් අෂ්කෙලොන් නිවෙස්වල ලගිනු ඇත.
ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ
ඔවුන් රැක-බලාගෙන, භාග්‍යයෙහි ඔවුන් යළි පිහිටුවනු ඇත.
මෝවබ්ට සහ අම්මොන්ට එරෙහිව
8“මගේ ජනයාට ගරහමින්,
ඔවුන්ගේ දේශයට එරෙහිව තර්ජන කළ
මෝවබ්ගේ ගැරහීම ද
අම්මොන්වරුන්ගේ ඇනුම්පද ද මම අසා සිටියෙමි.”
9එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකාධිපති ස්වාමින්වහන්සේ
මෙසේ ප්‍රකාශ කරන සේක:
“මා ජීවත් වන වග සැබෑ සේ ම,
මෝවබ්, සොදොම මෙන් වනු ඇත.
අම්මොන්වරුන්, ගොමොරාව මෙන් වනු ඇත.
එය වල් පඳුරු හා ලුණු වළවලින් යුතු සදාතනික පාළු බිමක් වනු ඇත.
මගේ ජනයාගෙන් ඉතිරි ස්වල්ප දෙනා ඒ දෙජාතීන් කොල්ලකනු ඇත,
ඔවුන්ගේ දේශය, මගේ ජාතියේ ජීවත් ව,
ඉතිරි ව සිටින්නන් විසින් උරුම කර ගනු ඇත.”
10සේනාංකාධිපති ස්වාමින්වහන්සේගේ ජනතාවට ගරහමින්,
ඔවුන්ට සමච්චල් කිරීමේ උඩඟුකමට
ඔවුන්ට ආපිට ලැබෙන කොටස ඒ අයුරු ය.
11ඔවුන්ට එරෙහිව ස්වාමින්වහන්සේ භයංකර වනු ඇත.
මන්ද උන්වහන්සේ මිහි පිට දෙවි-දේවතා සියල්ලන් ක්ෂය කර දමන සේක.
දේශ දේශවල හැම ජාතියක හැම කෙනකු තම මව් බිමේ සිට
උන්වහන්සේට නමස්කාර කරනු ඇත.
කූෂ්ට එරෙහිව
12එම්බා කූෂ්වරුනි, නුඹලාත්,
මගේ කඩුවෙන් ඝාතනය කරනු ලබනු ඇත.
අසිරියාව
13උන්වහන්සේ උතුරු දෙසට එරෙහිව තම හස්තය දිගු කොට,
අසිරියාව විනාශ කරන සේක.
නිනිවය සහමුලින් පාළු කර,
කාන්තාරය මෙන් වියළී යන්නට හරින සේක.
14ගව රංචු හා සියලු ආකාර වන මෘගයින්
එහි ලගිනු ඇත.
කාන්තාර බස්සන් හා බකමූණන්
එහි කුලුනු මත ලගිනු ඇත.
උන්ගේ හඬ ගෑම කවුළු ඔස්සේ දෝංකාර දෙනු ඇත.
දොරකඩවල ඇත්තේ ගල්-කැබෙලි ගොඩවල් ය;
දේවදාර ලී-පරාල ඔහේ බෑවී තියේ.
15තම මාන්නයෙන් උදම් ව,
සුරක්ෂිත ව ගත කළ පුරවරය මේක ය.
“මා පමණෙකි; මා හැර අන් කෙනකු නැතැ” යි
ඈ තමාට ම කියා ගත්තා ය.
අහෝ! ඇයට වූ විපත්තියක මහත.
මෙන්න ඇය වන මෘගයින්ගේ ලැගුම්-පොලක් වී;
ඇය පසු කර එතැනින් යන සියල්ලෝ සමච්චල් කරමින්,
අත් මිට මොළවා වනති.

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요