නාහුම් 1

1
1නිනිවය පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයකි. එල්කොෂීය නාහුම්ගේ දර්ශන පොත ය.
දේව උදහස
2 ස්වාමින්වහන්සේ ඊර්ෂ්‍යා සහගත වූ පළි ගන්නා දෙවියන්වහන්සේ ය.
පළි ගන්නා වූ ස්වාමින්වහන්සේ උදහසින් පූර්ණ ය.
ස්වාමින්වහන්සේ ස්වකීය එදිරිවාදීන්ගෙන් පළි ගන්නා සේක්,
තම සතුරන්ට එරෙහිව උදහස පානා සේක.
3 ස්වාමින්වහන්සේ වහා නො කිපෙන සුළු ය. බලයෙන් විශිෂ්ට ය.
ස්වාමින්වහන්සේ වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක.
උන්වහන්සේගේ මාර්ගය සුළි සුළඟෙහි ද කුණාටුවෙහි ද වෙයි.
වලාකුළු උන්වහන්සේගේ පා දූවිලි ය.
4උන්වහන්සේ මුහුදට තරවටු කර, එය සිඳී යන්නට සලසන සේක්,
සියලු ගංගා වියළෙන්නට සලසන සේක.
බාෂාන් හා කර්මෙල් උයන් මැලවී යයි.
ලෙබනොන්හි මල් පරවෙයි.
5උන්වහන්සේ ඉදිරියේ කඳු සලිත වෙයි.
හෙල් දියවී යයි.
උන්වහන්සේ ඉදිරියේ පොළොව වෙවුලයි.
ලෝකය හා එහි වෙසෙන සැවොම ද වෙවුලති.
6උන්වහන්සේගේ කෝපය හමුවේ නො සැලී සිටගත හැක්කේ කවරකුට ද?
උන්වහන්සේගේ උදහසේ සැර, දරාගත හැක්කේ කවරකුට ද?
උන්වහන්සේගේ උදහස ගින්දර මෙන් වැගිරේ.
උන්වහන්සේ අබියස පර්වත දෙදරා හැලේ.
7 ස්වාමින්වහන්සේ යහපත් ය.
විපත්ති දවසේ බළකොටුවක් ය.
තමන්වහන්සේ තුළ පිළිසරණ සොයන්නන් උන්වහන්සේ දන්නා සේක.
8එහෙත් යට කර ගලා යන ගං වතුරකින්
උන්වහන්සේ තම සතුරන්#1:8 තම සතුරන් ග්‍රීක අනුව ය. හෙබ්‍රෙව් ඇගේ ස්ථානය තීන්දුවට අවසන් කර දමන්නාහ.
උන්වහන්සේ තම එදිරිවාදීන් අන්ධකාරයට ලුහුබැඳ, එලවා දමන සේක.
9 ස්වාමින්වහන්සේට එරෙහිව ඔබ කුමන්ත්‍රණ කළේ කුමක් ද?
උන්වහන්සේ එය කෙළවර කර දමන සේක.
එම විපත්තිය දෙවන වරටත් නැගෙන්නේ නැත.
10ඔවුහු කටු විලස පටලැවෙති;
බේබද්දන් සේ බීමත් වෙති.
වියළි ඉපනැලි සේ දැවී යති.
11 ස්වාමින්වහන්සේට එරෙහිව නපුර කුමන්ත්‍රණ කරන,
දුෂ්ටකමේ උපා යොදන කෙනෙක්,
නුඹ වෙතින් පිටත් ව ආවේ ය.
12 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ඔවුන් ගණනින් පූර්ණ බළ සේනා සහිත වුවත්,
ඔවුන් සිඳ දමනු ලැබ, පහ වී යනු ඇත.
යූදා, මම නුඹට පීඩා පැමිණ වූ නමුදු,
තවදුරටත් නුඹට පීඩා නො කරමි.
13දැන් නුඹේ ගෙලෙන් උන්ගේ වියගහ බිඳ,
නුඹේ විලංගු මම ඉරා දමන්නෙමි.”
14නිනිවය, නුඹ ගැන ස්වාමින්වහන්සේ අණක් දී ඇත.
“නුඹේ නම ගෙන යන්නට කෙනෙක් නුඹට නො වන්නේ ය.
නුඹේ දෙවි-දේවතා දෙවොල්හි
නෙළූ රූප හා වාත්තු පිළිම මම විනාශ කරන්නෙමි.
නුඹ නීච බැවින්
නුඹේ මිනී වළ මම ලැහැස්ති කරන්නෙමි” යනුයි.
15අන්න! සුබ ආරංචි ගෙනෙන,
සාමය ප්‍රකාශ කරන
කෙනකුගේ පාද කඳු මත්තේ!
එම්බා යූදා, නුඹලාගේ මංගල්‍ය පවත්වා,
නුඹලාගේ බාර ඔප්පු කරනු!
තවදුරටත් දුෂ්ටයා ඔබ ආක්‍රමණ කරන්නේ නැත;
මුළුමනින් ම ඔවුන් විනාශ කර දැමේ.

선택된 구절:

නාහුම් 1: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요