මීකා 7

7
කාලකණ්ණිකමෙක හැටි!
1අහෝ, මගේ කාලකණ්ණිකමෙක මහත!
ගිම්හාන පලතුරු නෙළා ගෙන ගිය පසු,
මිදි නෙළා ගත් පසු, මට දැනෙන්නේ,
කන්නට එක පොකුරක් ඉතිරි ව නැති තත්වයකට මා පත් ව ඇති සෙයකි.
මා ආශා කරන නාඹුල් අත්තික්කා එහි නැත.
2ධාර්මිකයින් දේශයෙන් විනාශ ව ගොසිනි.
මිනිස් වර්ගයා අතරේ අවංක කෙනකු නැත.
හැම කෙනෙක් ම ලේ හැලීමට සැඟවී රැක සිටිති;
හැම කෙනෙක් ම අනෙකාට දැලක් එළති.
3ඔවුන්ගේ දෑත, දුෂ්ටකම හරියට කරන්නට එක සේ හුරු ය,
අධිපතියා හා විනිසුරුවා,
අල්ලස් ඉල්ලති;
බලවත් මනුෂ්‍යයා තම ජීවයේ දුෂ්ට චේතනාව පවසයි.
ඒ සියල්ල එකට ගෙතී පවතී.
4ඔවුන්ගෙන් හොඳ ම අය කටු ගසක් වැන්න,
ඔවුන්ගෙන් අවංක අය කටු පඳුරකටත් අන්ත ය.
ඔබේ මුරකරුවන් අනතුරු ඇඟවූ,
ඔබේ දඬුවමේ දවස උදාව ඇත.
ඔවුන්ගේ#7:4 ඔවුන්ගේ හෙවත් ඔබේ වියවුල් සමය අත ළඟ ය.
5අසල්වැසියකු තුළ විශ්වාසය නො තබන්න.
මිතුරකු විශ්වාස නො කරන්න.
ළයට ළය දී සිටින ඇත්තීගෙන් පවා
කට පරෙස්සම් කර ගන්න.
6මන්ද, පුතා තම පියාට නින්දා සහගත ව සලකයි.
දුව තම මවට එරෙහිව ද
ලේළි තම නැන්දණියට එරෙහිව ද නැගී සිටියි.
මිනිසකුගේ එදිරිවාදීන් වන්නේ තමන්ගේ ම නිවැසියන් ය.
7එහෙත් මම, ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්නෙමි.
මගේ ගැලවීමේ දෙවියන්වහන්සේ ගැන බලා හිඳින්නෙමි.
මගේ දෙවියන්වහන්සේ මට සවන් දෙන සේක.
ඉශ්‍රායෙල් නැගිටිනු ඇත
8මගේ සතුරනි, මගේ වැටීම ගැන සොම්නසින් නො බලනු!
මා වැටී සිටිය ද, මම නැගිටින්නෙමි.
මා අඳුරේ හිඳ සිටිය ද,
ස්වාමින්වහන්සේ මට ආලෝකය වන සේක.
9උන්වහන්සේට එරෙහිව මා පව් කළ බැවින්,
මම ස්වාමින්වහන්සේගේ උදහස දරන්නෙමි.
ඒ, උන්වහන්සේ මා වෙනුවෙන් කතා කොට,
මට යුක්තිය ඉටු කර දෙන තෙක් ය.
උන්වහන්සේ ආලෝකයට මා ගෙන එන සේක;
මම උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි.
10එවිට මගේ සතුරා එය දකිනු ඇත;
දැක, ලජ්ජාවෙන් පිරෙනු ඇත.
මන්ද, “කෝ! නුඹේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කොහේ දැ?” යි
මට සමච්චල් කළේ ඒ අයයි.
ඇගේ වැටී යෑම මගේ ම දෑසින් මම දකින්නෙමි;
වීථිවල ගොහොරු මඩ මෙන්
දැන් ඈ පාගා දැමේ.
11ඔබගේ පවුරු ගොඩ නගන දවසකි!
ඒ දවසේ ඔබගේ දේශ සීමා පුළුල් කෙරේ.
12ඒ දවසේ අසිරියාවේ සිට ඊජිප්තුවේ පුර නගර දක්වා,
ඊජිප්තුවේ සිට ගංගාව#7:12 ගංගාව හෙවත් යුප්‍රටීස් දක්වා,
ඒ මුහුදේ සිට මේ මුහුද දක්වා,
ඒ කන්දේ සිට මේ කන්ද දක්වා
ජනී ජනයා ඔබ වෙත එන්නෝ ය.
13මහ පොළොව ජනශූන්‍ය ව යන්නේ ය;
එසේ වන්නේ පොළෝ වාසීන් නිසා ය; ඔවුන්ගේ ක්‍රියාවල ඵලවිපාක නිසා ය.
යාච්ඤාව සහ ප්‍රශංසාව
14සරු තණ බිම් මධ්‍යයේ වනාන්තරයක
හුදකලාව වෙසෙන ඔබගේ ජනයා
ඔබගේ කෙවිට යටතේ රැක-බලාගන්න;
ඔබගේ උරුමයේ බැටළු රංචුව ඔවුන් ය.
ඈත අතීත සමයේ මෙන් බාෂාන්හි ද ගිලියාද්හි ද
ඔවුහු පෝෂණය ලබත්වා!
15“ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ පැමිණි දවස්හි දී මෙන්
මගේ ආශ්චර්යයන් මම ඔවුනට පෙන්වමි.”
16ජාතීන් ඒ දැක,
තමන්ගේ සියලු බලයේ නොවැදගත්කම ගැන ලජ්ජා වී,
තම මුඛ තම අත්වලින් වසා ගනිති.
ඔවුන්ගේ කන් බිහිරි ව යනු ඇත.
17පොළොවේ බඩ ගා යන උරගයින් සේ,
සර්පයකු සේ ඔවුන් පොළොවේ දූලි ලෙවකනු ඇත.
ඔවුන් ඔවුන්ගේ ගුහා තුළින් වෙවුලමින් පිටතට එනු ඇත;
අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ඔවුන් හැරෙන්නේ භීතියෙනි.
ඔවුන් ඔබට ද බිය වනු ඇත.
18ස්වකීය උරුමයේ ඉතිරි ස්වල්පදෙනාගේ පාප කමා කොට,
ඔවුන්ගේ අයුතුකමින් ඔවුන් නිදොස් කරන,
ඔබ හා සමාන අන් දෙවියන්වහන්සේ කෙනකු කවුරු ද?
ඔබවහන්සේ සදහට ම කෝපයෙන් නො සිටින සේක;
ප්‍රේමය දැක්වීමට සොම්නස් වන සේක.
19ඔබවහන්සේ යළිත් අපට අනුකම්පා පානා සේක්,
අපගේ පාප ඔබේ පයින් පාගා,
අපේ සියලු අයුතුකම් මුහුදු-ගැඹුරේ හෙළන සේක.
20ඈත අතීත සමයේ අපේ ආදි පියවරුන්ට
දිවුරුමකින් ඔබ ම ශපථ කළ පරිදි,
ඔබවහන්සේ යාකොබ්ට විශ්වාසවන්ත වී,
ආබ්‍රහම්ට දයාව පානා සේක.

선택된 구절:

මීකා 7: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요