නාහුම් 2

2
නිනිවයේ වැටී යෑම
1විසුරුවන්නෙක් නුඹට එරෙහිව පිටත් ව එයි.
බළකොටුව රැකවල් ලා,
පාර මුර කරනු.
සූදානම් වී,
නුඹේ මුළු ශක්තිය වඩවා ගනු.
2මන්ද ඔවුන්ගේ මිදි අතු විනාශකයන් විසින් විනාශ කර,
ආලාපාළු කර දැමූ නමුදු,
ස්වාමින්වහන්සේ යාකොබ්ගේ තේජස,
ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් යළි පිහිටු වන සේක.
3ඔහුගේ රණකාමීන්ගේ පලිහ රත් පැහැති ය.
ඔහුගේ හේවායෝ තද රත් පැහැයෙන් සැරසී සිටිති.
යුද්ධ රථවල ලෝහ,
ඒවා සූදානම් කළ දවසේ දීප්තියෙන් බැබළේ.
සයිප්‍රස් ලී හෙල්ල ලෙළ දෙයි.
4යුද්ධ රථ වීදි ඔස්සේ හඹා යති.
එළිමහන් පිටි හරහා ඒ මේ අත කඩා බිඳගෙන යති.
ඒවා දිළිසෙන පන්දම් වැන්න.
විදුලිය සේ ඒවා ඔබ මොබ දිවේ.
5ඔහු තම සෙන්පතීන් කැඳවයි.
එහෙත් ඔවුහු එද්දී පැකිළෙති.
ඔවුහු පුර පවුරට හනි හනිකට වැද,
ආරක්ෂා කොටුව තනා ගනිති.
6ගංගා සොරොව් ඇර දැමේ.
රජ මාලිගාව කඩා හැලේ.
7පුරවරය අල්ලා ගනු ලැබ,
වහල්කමට ගෙන යෑමට නියමිත විණ.
වහල් කෙල්ලෝ පපුවට ගසා ගනිමින්,
පරෙවියන් සේ සුසුම්ලති.
8නිනිවය, එහි ජලය ඉවත ගලා යන
පොකුණක් වැන්න.
“නවතිනු! නවතිනු!” යි ඔවුහු මොර ගසති.
එනමුදු ආපසු හැරෙන කිසිවෙක් නැත.
9රිදී කොල්ලකනු!
රත්රන් කොල්ලකනු!
සිත් අලවන සකල වස්තුවෙන් යුතු
නිමක් නැති ධන සම්භාරයක්!
10පාළු කරනු! පාළු ව ය, නාස්තිය ය!
හදවත් දියවෙයි; දණහිස් වෙවුලයි.
මුළු ගත සංවේගයෙන් කකියයි; මුහුණු සුදුමැලි වේ.
11සිංහයින්ගේ ගුහාව,
උන් තම පැටවුනට ගොදුරු කැවූ තැන, දැන් කොහේ ද?
සිංහයා හා සිංහ ධේනුවත්,
උන්ගේ පැටවුනුත් බියෙන් තොර ව ගැවසුණු තැන කොහේ ද?
12සිංහයා තම පැටවුනට ඇති තරමට සතුන් මරා දී,
තම ධේනුන් හට ගොදුරේ ගෙල ඉරා දුන්නේ ය.
ඌ තම ගුහා මැරූ සතුන්ගෙන් ද
තම ලෙන් ගොදුරු කර ගත් මාංසයෙන් ද පුරවාලී ය.
13මෙන්න! “මම නුඹට විරුද්ධ යැ” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
මම, “නුඹේ යුද්ධ රථ, දුම් නංවමින්, දවා දමන්නෙමි.
නුඹේ සිංහ නාම්බෝ, කඩුවෙන් වැනසෙන්නෝ ය.
මිහි පිට ගොදුරක් තවත් නුඹට නො දෙන්නෙමි.
නුඹේ තානාපතීන්ගේ කටහඬ
තවත් ඇසෙන්නේ නැත.”

선택된 구절:

නාහුම් 2: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요