මාර්ක් 2

2
යේසුස්වහන්සේ අංසබාග රෝගියා සුව කිරීම
1ටික දිනකින් උන්වහන්සේ යළි කපර්ණවුමට පැමිණි කල, උන්වහන්සේ ගෙදර ආ වග පතළ විය. 2එවිට දොරකඩින් පිටත පවා ඉඩක් නොමැති තරමට ජනකායක් එහි එක් රොක් වූහ. උන්වහන්සේ ඔවුන්ට වචනය දේශනා කළ සේක. 3සිවු දෙනකු විසින් උසුලාගෙන ආ අංසබාග රෝගියකු උන්වහන්සේ වෙත ගෙන එන ලදී. 4ජනකාය නිසා උන්වහන්සේට ළං විය නො හැකි වූයෙන්, ඔවුහු උන්වහන්සේට ඉහළින් පියස්ස ගලවා, කුහරයක් සාදා, අංසබාග රෝගියා ඔත් සයනය එතුළින් පහළට බැස්සූහ. 5යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතා, “පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක.
6එහි හිඳ සිටි දහම් පඬිවරු ඇතමෙක් තමන් තුළ ම ප්‍රශ්න කර ගනිමින්, 7“මේ මිනිහා මෙලෙස කතා කරන්නේ ඇයි? ඔහු කරන්නේ දේවාපහාසයක්! පාප කමා කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණක් මිස අන් කවරකුට දැ?” යි සිතූහ.
8ඔවුන් මේ මේ ලෙස ඔවුන්ගේ හදවතින් සිතූ වග එකෙණෙහි ම යේසුස්වහන්සේ තම ආත්මයෙන් දැන, ඔවුන් අමතා, “ඔබ මෙවැනි දෑ ඔබේ හදවතින් සිතන්නේ මන්ද? 9මෙයින් අංසබාගය ඇත්තාට කීමට වඩා පහසු කුමක් ද? ‘ඔබේ පාප කමා කරන ලදැ’ යි කීම ද? නැතහොත් ‘නැගිට සයනයත් ගෙන ඇවිදින්නැ’ යි කීම ද? 10එනමුත් පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි කී උන්වහන්සේ අංසබාග රෝගියා අමතා, 11“නැගිට ඔබේ යහන රැගෙන, ගෙදර යන ලෙස මම ඔබට අණ කරමි” යි පැවසූ සේක. 12ඔවුන් සැවොම බලා සිටියදී ඔහු නැගිට, එකෙණෙහි ම තමන් වැතිර සිටි යහනත් ගෙන ඇවිද ගියේ ය. සියල්ලෝ විස්මපත් ව, “මේ වගේ දෙයක් අප කිසිදාක දැක නැතැ!” යි කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.
අයකැමියකු වූ ලෙවී කැඳවීම
13යළිත් උන්වහන්සේ පිටත් ව මුහුද අද්දරින් ගිය සේක. විශාල ජනකායක් උන්වහන්සේ වෙත පැමිණියෙන් උන්වහන්සේ ඔවුන්ට උගන්වන්නට වූ සේක. 14උන්වහන්සේ ගමන් ගනිද්දී, අල්පෙවුස්ගේ පුත් ලෙවී, අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි ඔහුට කී සේක. එවිට ඔහු නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය.
15යේසුස්වහන්සේ ලෙවීගේ නිවසේ කෑමට හිඳ සිටියදී, බදු අය කරන්නන් බොහෝ දෙනෙක් ද පව්කාරයෝ ද උන්වහන්සේ හා ගෝලයින් සමඟ හිඳ සිටියහ. මන්ද උන්වහන්සේ අනුව ගියෝ බොහෝ දෙනෙකි. 16උන්වහන්සේ පව්කරුවන් හා බදු අය කරන්නන් සමඟ ආහාර ගනු දුටු පරිසිවරුන්ගේ දහම් පඬිවරු, උන්වහන්සේගේ ගෝලයින් අමතමින්, “මොහු බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි ඇසූහ.
17එය ඇසුණු යේසුස්වහන්සේ, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි. මා ආවේ, පව්කරුවන් මිස ධර්මිෂ්ඨයින් කැඳවීමට නො වේ” යි පැවසූ සේක.
උපවාස ගැටලුව
18යොහන්ගේ ගෝලයෝ හා පරිසිවරු උපවාසයේ යෙදුණහ. එකල ඇතැම් දෙනෙක් පැමිණ, “යොහන්ගේ ගෝලයින් හා පරිසිවරුන්ගේ ගෝලයින් උපවාසයේ යෙදෙනවා; එහෙත් ඔබේ ගෝලයින් උපවාසයේ නො සිටින්නේ මන්දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ.
19එවිට යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මනාලයා මංගල පිරිස සමඟ සිටියදී, ඔවුන්ට නිරාහාර ව සිටිය හැකි ද? මනාලයා ඔවුන් සමඟ සිටින තාක්, නිරාහාර ව සිටින්නට ඔවුන්ට නො හැකියි. 20එහෙත් මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගන්නා දවස් පැමිණෙයි. ඒ දවසේ ඔවුන් නිරාහාර ව සිටිනු ඇත.
21“කිසිවකු තාන් රෙදි කඩකින් පරණ ඇඳුමකට අණ්ඩයක් දමන්නේ නැත. එසේ කළොත්, අලුත් රෙදි කඩ හැකිළුණු විට පරණ ඇඳුම ඇදී ඉරුම වඩා විශාල වේ. 22එමෙන් ම කිසිවකු අලුත් මිදි යුෂ පැරණි සම් මලුවල දමන්නේ නැත. එසේ දැමුවහොත්, අලුත් මිදි යුෂ සැරට සම් මලු පැළී මිදි යුෂ ද සම් මලු ද නාස්ති වී යයි. අලුත් මිදි යුෂ දමන්නේ අලුත් සම් මලුවල යැ” යි පැවසූ සේක.
සබත් දවසේ ස්වාමියා
23එක් සබත් දිනෙක උන්වහන්සේ කුඹුරු යායක් මැදින් ගමන් ගනිද්දී, උන්වහන්සේගේ ගෝලයෝ ගමන් කරමින්, ධාන්‍ය කරල් කඩන්නට වන්හ. 24එවිට පරිසිවරු උන්වහන්සේ අමතමින්, “බලන්න, සබතේදී නීති විරෝධී දෙයක් ඔවුන් කරන්නේ මන්දැ?” යි ඇසූහ.
25උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් අග හිඟ වී, කුස ගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කවදාවත් කියවා නැද්ද? 26අබියාතර් උත්තම පූජකයා ව සිටි කාලයේ, ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල් ව, පූජකයනට විනා, අන් කිසිවකු කෑමට අකැප පිදුම් රොටි ගෙන කා, තම සගයින්ටත් දුන්නේ යැ” යි පැවසූ සේක.
27තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “මිනිසා උදෙසා සබත ඇති කළා මිස, මිනිසා සබත උදෙසා නො වේ. 28එබැවින් මනුෂ්‍ය පුත්‍රයාණෝ සබතේ ද ස්වාමියාණෝ යැ” යි පැවසූ සේක.

선택된 구절:

මාර්ක් 2: SCV

하이라이트

공유

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요