මාර්ක් 3

3
අප්‍රාණික අත සුව කිරීම
1තවත් වතාවක උන්වහන්සේ සිනගෝගයට ගිය කල, අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය. 2සබතේදී උන්වහන්සේ ඔහු සුව කරත් දැයි බලා, උන්වහන්සේට චෝදනා කරන පිණිස, ඔවුහු යේසුස්වහන්සේ දෙස විමසිල්ලෙන් බලා වුන්හ. 3උන්වහන්සේ අත අප්‍රාණික මිනිසා අමතමින්, “නැගිට ඇවිත් මෙතැන සිටින්නැ” යි කී සේක.
4ඉන්පසු ඔවුන් අමතමින්, “සබතේ දවසේදී නිත්‍යානුකූල වන්නේ යහපත කිරීම ද? නපුර කිරීම ද? ජීවිතය ගැලවීම ද? නැති නම් වැනසීම දැ?” යි ඇසූ සේක. එහෙත් ඔවුහු නිශ්ශබ්ද ව සිටියහ.
5කෝපයෙන් ඔවුන් හැම සිසාරා බලා, ඔවුන්ගේ සිත් දැඩිකම ගැන සංවේගයට පත් උන්වහන්සේ, ඒ මිනිසා අමතා, “ඔබේ අත දිගු කරන්නැ” යි කී සේක. ඔහු ඒ අත දිගු කළේ ය. එය ප්‍රකෘතිමත් කරනු ලැබ තිබිණි. 6පරිසිවරු පිටත් ව ගොස්, එකෙණෙහි ම හෙරෝදියයන් සමඟ රැස් වී, උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළහ.
බොහෝ සමූහයා යේසුස්වහන්සේ අනුව යති
7යේසුස්වහන්සේ එතැනින් නික්ම, තම ගෝලයින් සමඟ මුහුද වෙත පැමිණි සේක. ගලීලයෙන් අති මහත් ජනකායක් උන්වහන්සේ පසු පස ගියහ. 8උන්වහන්සේ කළ සියලු දෑ ගැන අසා තිබූ මහත් සමූහයක් යුදයෙන්, යෙරුසලමෙන්, ඉදුමයෙන්, යොර්දාන් එගොඩින්, තීර් හා සීදොන් අවටින් යන පෙදෙස්වලින් උන්වහන්සේ වෙත ආහ. 9සමූහයා නිසා තෙරපීමෙන් වැළකීමට තමන්ට කුඩා ඔරුවක් සූදානම් කරන ලෙස, උන්වහන්සේ තම ගෝලයින්ට කී සේක. 10මන්ද උන්වහන්සේ බොහෝ දෙනකු සුව කර තිබූ හෙයින්, රෝගීවූවෝ උන්වහන්සේට අත ගසන්නට, පොදි කකා ඉදිරියට තල්ලුවී ආවෝ ය. 11තවද අශුද්ධාත්මයෝ උන්වහන්සේ දුටු විට උන්වහන්සේ ඉදිරියේ වැටී, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ඔබ යැ” යි මොර ගැසුවෝ ය. 12එහෙත් තමා කවුරුන්දැයි ප්‍රසිද්ධ නො කරන ලෙස උන්වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක.
දොළොස් දෙනා තෝරා ගැනීම
13යේසුස්වහන්සේ කන්දකට නැගී, තමන් කැමති වූවන් තමා වෙත කැඳවූ සේක. ඔවුහු උන්වහන්සේ වෙත ආහ. 14උන්වහන්සේ දොළොස් දෙනකු තෝරාගත් සේක.#3:14 ඇතැම් පිටපත්වල “තෝරා, ඔවුන් අපෝස්තුලුවරුන් යයි හැඳින් වූ සේක” ලෙස ඇත. එසේ කළේ, ඔවුන් උන්වහන්සේ සමඟ සිටින පිණිසත්, දේශනා කිරීමට උන්වහන්සේ ඔවුන් පිටත් කර හරින පිණිසත්, 15යක්ෂාත්මයන් දුරු කිරීමේ බලය ඔවුන් දරන පිණිසත් ය.
16එසේ තෝරාගත් දොළොස් දෙනා:
(උන්වහන්සේ පේතෘස් යන නම් තැබූ) සීමොන්,
17(උන්වහන්සේ “ගර්ජනාවේ පුත්‍රයෝ” යන අරුතින් බෝවනර්ගස් යන නම දුන්) සෙබදීගේ පුත්‍රයෝ වන යාකොබ් හා යාකොබ්ගේ සහෝදර යොහන්,
18අන්දෘ,
පිලිප්,
බර්තොලමෙව්,
මතෙව්,
තෝමස්,
අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්,
තද්දෙවුස්,
ජ්වලිතයා#3:18 එවකට තිබූ අන්තවාදී සංවිධානයක සාමාජිකයෙක් යන අරුත ද තිබිය හැක. යයි නම් ලත් සීමොන්
19හා උන්වහන්සේ පාවා දුන් යූදස් ඉස්කාරියොත් ය.
යේසුස්වහන්සේ හා බෙල්සෙබුල්
20ඉන්පසු උන්වහන්සේ නිවසට ගිය සේක. සමූහයා යළි රැස්වූයෙන්, ඔවුන්ට අහර ගැනීමට තරම් වත් ඉඩක් නො ලැබිණි. 21උන්වහන්සේගේ පවුලේ අයට එය සැල වූයෙන් ඔවුහු උන්වහන්සේ අල්ලාගෙන ඒමට ගියහ. මන්ද, “ඔහුගේ සිහි විකල් වෙලා” යි ඔවුහු කීහ.
22තවද යෙරුසලමෙන් පැමිණි දහම් පඬිවරු, “මොහුට බෙල්සෙබුල් ආවේශ වෙලා! මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති මාර්ගයෙනැ” යි කීහ.
23එහෙයින් උන්වහන්සේ තමා වෙත ඔවුන් කැඳවා, උපමාවලින් ඔවුන්ට කතා කරමින්, “සාතන්ට, සාතන් දුරු කළ හැක්කේ කෙසේ ද? 24රාජ්‍යයක් එයට ම එරෙහිව බෙදුනහොත් එම රාජ්‍යයට පැවතිය නො හැක. 25නිවසක් එයට ම එරෙහිව බෙදුනහොත් එම නිවසට පැවතිය නො හැක. 26සාතන් තමන්ට ම එරෙහිව නැගිට, බෙදුනහොත් ඔහුට පැවතිය නො හැකි ය. එය ඔහුගේ අවසානයයි. 27පළමු කොට බලවන්තයා බැඳ දැමුවොත් මිස, බලවතකුගේ ගෙට ඇතුළු වී, ඔහු සතු දේ කොල්ලකන්නට කිසිවකුටත් නුපුළුවන. බැඳ දැමූ පසු, ඔහුගේ නිවස ම කොල්ලකත හැකි වෙයි. 28සැබවින් ම මා ඔබට කියන්නේ, මනුෂ්‍ය-පුත්‍රයින්ගේ සියලු පාප හා ඔවුන් පවසන දේවාපහාස ඔවුන්ට කමා කරනු ලබන්නේ ය. 29එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව දේවාපහාස කරන කිසිවකුට කිසි කලෙක කමාවක් නැත. ඔහු සදාතන පාපයකට වරදකරු වී සිටිතැ” යි පැවසූ සේක.
30උන්වහන්සේ එසේ පැවසුවේ, “මොහුට අපවිත්‍ර ආත්මයක් ඇතැ” යි ඔවුන් කී බැවිනි.
31එවිට උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් පැමිණ, පිටත සිටිමින්, උන්වහන්සේ කැඳවමින් පණිවුඩ යැවූහ. 32උන්වහන්සේ වටකර වාඩි වී සිටි සමූහයා, “ඔබේ මෑණියන් හා සහෝදරයින් ඔබ දකින්නට ඇවිත් පිටත සිටිති” යි උන්වහන්සේට දැන්වූහ.
33උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ මෑණියන් හා මගේ සහෝදරයින් කවුරු දැ?” යි පවසා,
34තමා වටා වාඩි වී සිටියවුන් දෙස බලා, “මෙන්න මගේ මෑණියන් හා මගේ සහෝදරයින්. 35දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන යමෙක් වේ ද, හෙතෙම මගේ සහෝදරයා ද සහෝදරිය ද මෑණියන් ද වෙතැ” යි පැවසූ සේක.

선택된 구절:

මාර්ක් 3: SCV

하이라이트

공유

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요