මාර්ක් 1

1
පෙර ගමන්කරු වන යොහන් බව්තීස්ත
1දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පටන් ගැන්ම; 2දිවැසිවර යෙසායාහි:
“මෙන්න, මගේ දූතයා ඔබට පෙරටුව යවමි.
ඔහු, ඔබගේ මාවත සකසන්නේ ය.”#1:2 මලාකී 3;1
3“පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි,
‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු.
උන්වහන්සේට සෘජු මාවත් සාදනු’#1:3 යෙසා 40;3” යි
සඳහන් අයුරින්.
4පාළුකරයේ බව්තීස්ම කරමින්, පාප කමාව පිණිස පසුතැවිලිවීමේ බව්තීස්මය දේශනා කරමින් යොහන් බව්තීස්ත පැමිණියේ ය. 5එකල මුළු යූදා රට ද සියලු යෙරුසලම් වාසීහු ද ඔහු වෙත ගියහ. ඔවුහු තමන්ගේ පාප කියා දෙමින්, යොර්දාන් නදියෙහි ඔහුගෙන් බව්තීස්ම ලදහ. 6ඔටු ලෝම වස්ත්‍රයක් හැඳ, ඉණ වටා හම් පටියක් බැඳ සිටි යොහන්ගේ ආහාරය වූයේ පළඟැටියන් හා වන මී ය. 7ඔහු දේශනා කරමින්, “මට වඩා බලවත් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමන්ගේ පාවහන් පටි මුදන්නටවත් මා වටින්නේ නැත. 8මා ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් එතුමාණෝ ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම කරන සේකැ” යි පැවසී ය.
යේසුස්වහන්සේගේ බව්තීස්මය හා පරීක්ෂාව
9එදවස්හි යේසුස්වහන්සේ ගලීලයේ නාසරෙත් සිට පැමිණ, යොහන්ගෙන් යොර්දානයේදී බව්තීස්මය ලැබූ සේක. 10උන්වහන්සේ දියෙන් ගොඩවෙත් ම, එකෙණෙහි ම, ස්වර්ගය විවර ව ආත්මයාණන් පරෙවියකු ලෙස තමා වෙත බැස එනු දුටු සේක. 11තවද අහසින් නික්මුණු කටහඬක්, “මගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි; ඔබ කෙරේ මම ඉතා ප්‍රසන්න ව සිටිමි” යි පැවසී ය.
12එකෙණෙහි ආත්මයාණන්වහන්සේ, පාළුකරයට උන්වහන්සේ පිටත් කළ සේක. 13සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින්, උන්වහන්සේ දවස් හතළිහක් පාළුකරයේ සිටි සේක. උන්වහන්සේ වන සතුන් අතරේ සිටි සේක්, දේව දූතයෝ උන්වහන්සේට සත්කාර කළහ.
ශුභාරංචිය
14යොහන් සිර ගෙයි දමනු ලැබූ පසු, යේසුස්වහන්සේ ගලීලයට පැමිණ, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කරමින්, 15“කාලය සම්පූර්ණ වී ඇත; දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළං ව තිබේ. පසුතැවිලි වී ශුභාරංචිය අදහාගන්නැ!” යි පැවසූ සේක.
පළමු ගෝලයෝ
16යේසුස්වහන්සේ ගලීල මුහුදු වෙරළේ ඇවිද යන අතරේ, සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ මුහුදේ දැලක් හෙළනු දුටු සේක; මන්ද ඔවුහු ධීවරයෝ ය. 17යේසුස්වහන්සේ ඔවුන් ඇමතූ සේක්, “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි” යි කී සේක. 18එකෙණෙහි ඔවුහු තම දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියහ.
19මද දුරක් ගිය කල සෙබදීගේ පුත්‍ර යාකොබ් හා ඔහුගේ සහෝදර යොහන් දැල් අලුත්වැඩියා කරමින්, ඔවුන්ගේ ඔරුවේ හිඳිනු දුටු උන්වහන්සේ, 20එකෙණෙහි ම ඔවුන් කැඳවූ සේක; එවිට ඔවුහු තම පියා වූ සෙබදී හා කුලීකරුවන් ඔරුවේ සිටින්නට හැර, උන්වහන්සේ අනුව ගියහ.
අපවිත්‍ර ආත්මයක් දුරු කිරීම
21ඔවුහු කපර්ණවුම් වෙත ගියහ. එකෙණෙහි සබතේදී උන්වහන්සේ සිනගෝගයට ඇතුල් ව ඉගැන් වූ සේක. 22උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඔවුහු විස්මිත වූහ. මන්ද දහම් ගුරුන් මෙන් නො ව, උන්වහන්සේ ආධිපත්‍යය ඇත්තකු මෙන් ඉගැන් වූ බැවිනි. 23ඔවුන්ගේ සිනගෝගයේ සිටි අශුද්ධ ආත්මයක් ආවේශ වූ මිනිසෙක් එකෙණෙහි උස් හඬින් කෑ ගසා, 24“අප සමඟ ඔබට ඇති කාරිය මොකක් ද නාසරෙත්හි යේසුස්වහන්ස? ඔබ ආවේ අප විනාශ කර දමන්න ද? ඔබ කවුරුදැයි මම දනිමි. ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැන්වහන්සේ යැ!” යි කීවේ ය.
25එහෙත් යේසුස්වහන්සේ ඔහුට තරවටු කරමින්, “නිශ්ශබ්ද වනු! මොහුගෙන් පිට වනු!” යි කී සේක. 26එවිට මිනිසා වේගයෙන් වෙවුල වූ දුෂ්ටාත්මය, මර හඬ නගමින් ඔහුගෙන් පිටතට ආවේ ය.
27විස්මිත වූ සියලු ජනයා ඔවුනොවුන් අතර ප්‍රශ්න කරමින්, “මොකක් ද මේ? ආධිපත්‍යයෙන් යුතු අලුත් ඉගැන්වීමක්! මෙතුමා යක්ෂාත්මයන්ට පවා අණ දෙනවා; ඔවුන් ද එතුමන්ට කීකරු වෙනවා” යි කීවෝ ය. 28එකෙණෙහි උන්වහන්සේගේ කීර්තිය මුළු ගලීල පළාත පුරා පැතිර ගියේ ය.
යේසුස්වහන්සේ බොහෝ දෙනකු සුව කරයි
29සිනගෝගයෙන් පිටත් වූ විගස, ඔවුහු යාකොබ් හා යොහන් සමඟ සීමොන්ගේ හා අන්දෘගේ නිවසට ගියහ. 30සීමොන්ගේ නැන්දණිය උණෙන් පෙළෙමින් ඇඳට වී සිටියා ය. එකෙණෙහි ඔවුහු ඈ ගැන උන්වහන්සේට කීහ. 31එවිට උන්වහන්සේ ඇය ළඟට අවුත්, ඇගේ අතින් අල්ලා නැගිට වූ සේක; උණ බැස ගියේ ය. ඈ උන්වහන්සේට සත්කාර කරන්නට වූවා ය.
32එදින සවස හිරු අවරට යන කල, ඔවුහු සියලු රෝගීන් ද යක්ෂාවේශවූවන් ද උන්වහන්සේ වෙත ගෙන ආහ. 33මුළු නගරය ම දොර ළඟ එක් රොක් වූහ. 34නොයෙකුත් ආබාධවලින් පෙළුණු රෝගීන් බොහෝ දෙනකු සුව කළ උන්වහන්සේ බොහෝ දුෂ්ටාත්ම ද පලවා හැරිය සේක. එහෙත් දුෂ්ටාත්මයන්ට කතා කිරීමට උන්වහන්සේ ඉඩ දුන්නේ නැත; මන්ද උන්වහන්සේ කවුරුදැයි මොවුන් දැන සිටි හෙයිනි.
හුදෙකලා තැනක කළ යාච්ඤාව
35අලුයම් උදයේ තවමත් අඳුර තිබියදී අවදි වූ උන්වහන්සේ පිටත් ව, හුදකලා තැනකට ගිය සේක්, එහිදී යාච්ඤා කළ සේක. 36සීමොන් හා ඔහු සමඟ සිටි අය උන්වහන්සේ සොයා ගියහ. 37ඔවුන්ට උන්වහන්සේ මුණ ගැසුණු කල, “හැමෝම ඔබ සොයනවා!” යි කීහ.
38උන්වහන්සේ ඔවුන් අමතමින්, “අපි අවට ගම්වලට යමු. එහිදීත් මට දේශනා කළ හැකියි. මන්ද මා පිටත් ව පැමිණියේ ඒ සඳහා යැ” යි පැවසූ සේක. 39මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල දේශනා කරමින් හා යක්ෂාත්මයින් දුරු කරමින් ගලීල දේශය පුරා සැරි සැරූ සේක.
කුෂ්ඨ රෝගියකුට සුවය
40එවිට කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ වෙත පැමිණ, දණින් වැටී, “ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි අයැදී ය.
41අනුකම්පාවෙන් පිරුණු උන්වහන්සේ අත දිගු කොට, ඔහු ස්පර්ශ කර, “මා කැමතියි; පවිත්‍ර වන්නැ!” යි කී සේක. 42එකෙණෙහි ම කුෂ්ඨය ඔහුගෙන් පහ වී, ඔහු පවිත්‍ර විය.
43යේසුස්වහන්සේ වහා ඔහු පිටත් කර හැරියේ දැඩි ව අවවාද කරමිනි. 44“කිසිවකුටත් මේ ගැන කිසිවක් නො කියන්නට වග බලා ගන්න; එහෙත් ගොසින්, පූජකයා ඉදිරියේ පෙනී සිට, ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔබේ පවිත්‍ර වීම පිළිබඳව මෝසෙස් නියම කළ දෑ ඔප්පු කරන්නැ” යි කී සේක. 45එහෙත් ඔහු පිටත් ව ගොස්, ඒ ගැන පතළ කරමින්, ප්‍රසිද්ධියේ කතා කළේ ය. ඒ හේතුවෙන් යේසුස්වහන්සේට ප්‍රසිද්ධියේ කිසි නගරයකට ඇතුළු වීමට නො හැකි විය. උන්වහන්සේ නගරයෙන් පිටත හුදකලා තැන්වල සිටිය ද හැම පැත්තෙන් ම ජනයා උන්වහන්සේ වෙත ආහ.

선택된 구절:

මාර්ක් 1: SCV

하이라이트

공유

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요