යෝවෙල් 1

1
1පෙතූවෙල්ගේ පුත් යෝවෙල් වෙත පැමිණි ස්වාමින්වහන්සේගේ වචනය ය.
පළඟැටි ආක්‍රමණය
2වැඩිහිටියනි, මේ අහන්න!
දේශයේ වෙසෙන සියල්ලෙනි, සවන් දෙන්න!
ඔබගේ දවස්හි දී හෝ ඔබේ පියවරුන්ගේ දවස්හි දී
කිසි දිනෙක මෙවැන්නක් සිදු වී තිබේ ද?
3එය ඔබේ දරුවන්ට පවසන්න.
ඔවුහු ඒවා තම දරුවන්ට පවසත්වා!
ඔවුන්ගේ දරුවෝ ඊළඟ පරම්පරාවට එය ම පවසත්වා!
4කපන පළඟැටි ඉතිරි කළ දෑ,
පොකුරු පළඟැටි කා දැමූහ.
පොකුරු පළඟැටි ඉතිරි කළ දෑ,
පනින පළඟැටි කා දැමූහ;
පනින පළඟැටි ඉතිරි කළ දෑ,
වනසන පළඟැටි කා දැමූහ;
5බේබද්දනි, පිබිද, හඬා වැටෙනු!
මිදි යුෂ පානය කරන සියල්ලෙනි, වැලපෙනු!
අලුත් මිදි යුෂ නිසා වැලපෙනු!
මන්ද, ඒවා ඔබේ මුවින් ඩැහැගනු ලැබ ඇත.
6ජාතියක් මගේ දේශය ආක්‍රමණ කර ඇත.
ඔවුහු බලවත් ය, ගණන් නැති තරම් ය.
ඊට සිංහයකුගේ දත් ද
සිංහ දෙනකගේ දළ ද ඇත.
7ඔවුහු මගේ මිදි වැල් ආලාපාළු කර,
මගේ අත්තික්කා ගස් වනසා දැමූහ.
උන් ඒවායේ පොතු ගලවා,
ඉවත හෙළා ඇත්තේ,
එහි අතු සුදට හරවා ය.
8තුරුණු වියේ තම මනාලයා නිසා, ගෝණි රෙදි හැඳ,
ශෝකයට පත් කන්‍යාවක සේ වැලපෙනු.
9 ස්වාමින්වහන්සේගේ ගෘහයෙන්
ධාන්‍ය පූජා හා පාන පූජා සිඳ දමා ඇත.
ස්වාමින්වහන්සේ ඉදිරියෙහි තේවා කළ
පූජකවරු හඬා වැලපෙති.
10කෙත් වතු පාළු කර දමා ඇත.
පොළොව වැලපීමෙන් වියළී ගොසිනි.
ධාන්‍ය විනාශ ව,
අලුත් මිදි යුෂ සිඳී,
ඔලීව තෙල් හිඟ වී ගොසිනි.
11එම්බා බිම් කොටන්නනි, ලජ්ජා වනු.
මිදි-වවන්නනි, වැලපෙනු;
තිරිඟු හා යව ගැන ශෝක වනු,
මන්ද, කෙතේ අස්වැන්න විනාශ කරනු ලබන්නේ ය.
12මිදි වැල් වියළී ගොසිනි;
අත්තික්කා ගස් මැලවී ගොසිනි;
දෙළුම්, ඉඳි හා ඇපල් ගස් ද එසේ ම ය.
කෙත් වත්හි සියලු ගස්, වැල්, කොළ වියළී ගොසිනි;
මිනිස් වර්ගයාගේ සතුට
මැලවී ගොසිනි.
පසුතැවිල්ලට කැඳවීම
13එම්බා පූජකයිනි, ගෝණි රෙදි හැඳ, වැලපෙන්න;
පූජාසනයේ තේවාකරන්නනි, විලාප නගන්න.
මගේ දෙවියන්වහන්සේ අබියස තේවාකරන්නනි,
එන්න, ගෝනි රෙදි හැඳ ඇවිත්, රැය ගත කරන්න.
මන්ද, ධාන්‍ය පූජා හා පාන පූජා,
ඔබේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන් වළකනු ලැබ ඇත.
14ශුද්ධ වූ උපවාසයක් ප්‍රකාශ කර,
ශුද්ධ එක් රැස්වීමක් කැඳවන්න.
වැඩිහිටියන් ද
දේශයේ වෙසෙන සියල්ලන් ද
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහයට කැඳවා,
ස්වාමින්වහන්සේට කන්නලව් කරන්න.
15අහෝ ඒ දවස!
ස්වාමින්වහන්සේගේ දවස අත ළඟ ය.
එය පැමිණෙන්නේ සර්ව පරාක්‍රමයාණන් වෙතින් එන විනාශයක් පරිද්දෙනි.
16අපගේ ඇස් පනා පිට ම
ආහාර සිඳලනු නො ලැබී ද?
අපගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන්
ප්‍රීතියත්, ප්‍රමෝදයත් සිඳලනු නො ලැබී ද?
17වියළී, කරවූ බිමෙහි බීජ මැරී ගියෙන්,
අටු-කොටු පාළුවට ගියේ ය;
ධාන්‍යාගාර අත්හැර දමනු ලැබිණ;
මන්ද ධාන්‍ය අස්වනු නැත්තට නැති විණ.
18සතුන්-සීපාවුන් කෙඳිරි ගානා හැටි!
එළු බැටළු හා ගවයින් ව්‍යාකූල වී ඇත්තේ,
මන්ද ඔවුන්ට තණ පෙතක් නැතිකමිනි.
එළු හා බැටළු රංචු පවා පීඩා විඳිති.
19අහෝ ස්වාමින්වහන්ස, මා මේ අමතන්නේ ඔබට ය,
පාළුකරයේ තණ බිම්, ගින්න ගිලගති.
බැද්දේ ගහ කොළ ගිනි දැල්ලෙන් දැවිණ.
20වන සතුන් පවා ඔබවහන්සේට මොර ගසති.
මන්ද ජල උල්පත් සිඳී ඇති බැවිනි;
පාළුකරයේ තණ බිම් සියල්ල ගින්නට බිලි වී ඇත.

선택된 구절:

යෝවෙල් 1: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요