හබක්කුක් 2

2
1මම, මගේ මුර පොළෙහි සිටගෙන,
බළකොටු පවුරේ ස්ථානගත ව සිටිමින්,
උන්වහන්සේ මට කුමක් කියන්නේ ද,
මගේ පැමිණිල්ලට දෙන පිළිතුර කවරේ ද යන්න දැනගැනීමට බලා සිටින්නෙමි.
ස්වාමින්වහන්සේගේ පිළිතුර
2එවිට ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක්,
“දර්ශනය ලියාගන්න.
එය කියවන්නා පණිවුඩය රැගෙන දුව යන පිණිස,
පුවරුවක එය සටහන් කරන්න.
3මන්ද දර්ශනය, එහි නියමිත කාලය තෙක් බලා සිටී.
එය ඉලක්කය දෙසට කඩිනම් වෙයි.
එය නිෂ්ඵල නො වෙයි.
ඊට කල් ගත වූවත්, ඒ ගැන බලා සිටින්න.
නිසැකයෙන් ම එය පැමිණේ.
එය පමා නො වේ.
4“මෙන්න! ඔහු උඩඟු වී ඇත.
ඔහුගේ අභිප්‍රාය අවංක නැත.
එහෙත් ධර්මිෂ්ඨයා තම ඇදහිල්ලෙන් ජීවත් වෙයි.
5එපමණක් නො ව මිදි යුෂ ද්‍රෝහියෙකි.
අහංකාර මිනිසා කිසි විටෙක විවේකය නො ලබයි.
මන්ද ඔහු මිනී වළ මෙන් කෑදර ය.
මරණය මෙන් කිසි විටෙක සෑහීමට පත් නො වේ.
ඔහු සියලු ජාතීන් තමා වෙතට එකතු කොට ගනී;
සියලු ජනයා තමා වෙතට රැස් කර ගනී.
6“ඔවුන් සියල්ලෝ ඔහුට අවමන් කරමින්, පරිභව කරමින් හා ඇනුම් පදයෙන් මෙසේ නො කියත් ද?
“ ‘තමන්ට අයිති නැති දෑ ගොඩ ගසා ගන්නාට,
උගසට ගත් දෑ පැහැරගෙන, වස්තුව රැස් කරගන්නාට අහෝ! වන විපතක මහත!
කොතෙක් කලක් මෙය සිදු වන්නේ ද?’
7ඔබේ ණයකරුවෝ හදිසියේ ම නො නැගිටිත් ද?
ඔවුන් පිබිද නුඹ වෙවුලන්නට නො සලස්වත් ද?
ඉන්පසු නුඹ ඔවුන්ගේ ගොදුරක් වනු ඇත.
8මන්ද, නුඹ බොහෝ ජාතීන් කොල්ල කෑ බැවින්,
ඉතිරි ව සිටින ජනයා, නුඹ කොල්ලකනු ඇත.
මන්ද නුඹ මිනිස් ලේ වගුරා ඇති බැවිනි.
නුඹ දේශ ද පුරවර ද ඒවායේ විසූ සියල්ලන් ද වනසා දැමූ බැවිනි.
9“තම කැදැල්ල අහසේ පිහිටු වන පිණිස,
විපත්තියේ ග්‍රහණයෙන් මිදෙන පිණිස,
අයුතු වාසියෙන් තම නිවසට ගෙනෙන්නාට අහෝ! වන විපතක මහත!
10ඔබගේ ම නිවසට ලජ්ජාව පමුණුවමින් ද ඔබගේ ම ජීවිතයට හානි පමුණුවා ගනිමින් ද
බොහෝ ජනයාගේ විනාශයට ඔබ උපා යෙදී ය.
11මන්ද පවුරේ සිට ගල් කෑ මොර දෙනු ඇත.
ලී රාමුවෙහි බාල්ක, එය ම දෝංකාර දෙනු ඇත.
12“ලේ වැගිරවීමෙන් නුවරක් ගොඩ නගන,
සැහැසිකමින් නගරයක් පිහිටුවන්නාට අහෝ! වන විපතක මහත!
13ඔන්න! ජනයාගේ වෙහෙස මහන්සිය ගින්නට දර පිණිස වීමත්,
ජාතීන්ගේ දැඩි වෙහෙස නිෂ්ඵලකමට වීමත්
සේනාංකවල ස්වාමින්වහන්සේගෙන් ම නො වේ ද?
14මන්ද මුහුද, ජලයෙන් වැසී තිබෙන්නාක් මෙන්,
ස්වාමින්වහන්සේගේ තේජස, දැනගැනීමෙන් පොළොව පිරී යන්නේ ය.
15“තම අසල්වාසීන්ට බොන්නට දී,
ඔවුන්ගේ නග්න භාවය දෙස බලන පිණිස ඔවුන් මත්වන තුරු,
තම මිදි යුෂ බඳුන වගුරුවන්නාට අහෝ! වන විපතක මහත!
16ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් නුඹ පුරවනු ලැබේ.
බී, මත් වී, නුඹේ චර්ම-අඡේදිතත්වය පෙන්වනු!
ස්වාමින්වහන්සේගේ සුරතේ කුසලාන නුඹ වෙත ළඟා වෙයි.
නුඹේ ගරුත්වය නින්දාව විසින් වසා ගනු ඇත.
17ලෙබනොනයට නුඹ කළ සැහැසිකම ම නුඹ වසා ගනු ඇත.
එහි සතුන් විනාශ කිරීම ඔබ භීතියට පත් කරනු ඇත;
මන්ද නුඹ මිනිස් ලේ හලා ඇත.
නුඹ දේශ හා පුරවර ද ඒවායේ වැසියන් ද වනසා දැමී ය.
18“මිනිසා විසින් නෙළන ලද දේව රූපයක හෝ
බොරුව උගන්වන පිළිමයක හෝ ඇති වැදගැම්ම කුමක් ද?
ඔහු සාදන්නේ කතා බැරි දේව රූප වූවත්,
එය සාදන්නා, තමාගේ ම නිර්මාණය තුළ විශ්වාසය තබයි.
19ලීයක් අමතා, ‘පිබිදෙන්න’ කියා ද
අප්‍රාණික ගලක් අමතා, ‘නැගී සිටින්න’ කියා ද කියන්නාට අහෝ! වන විපතක මහත!
මග පෙන්වන්නට ඊට පුළුවන් ද?
මෙන්න, ඒවා රනින් ද රිදීයෙන් ද ආලේපිත ය.
ඒවා තුළ පණනල නැත.”
20එහෙත් ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධ මාලිගය තුළ ය.
මුළු පොළොව ම උන්වහන්සේ අබියස නිහඬ වෙත්වා!

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요