හබක්කුක් 3

3
හබක්කුක්ගේ යාච්ඤාව
1දිවැසිවර හබක්කුක්ගේ යාච්ඤාවකි. ෂිග්යොනොත් තාලයෙනි.
2 ස්වාමින්වහන්ස, ඔබගේ කීර්ති රාවය මම අසා ඇත්තෙමි.
ඔබගේ ක්‍රියා ගැන මම භය වෙමි. අහෝ ස්වාමින්වහන්ස,
අවුරුදු අතරතුරේ ඒවා අලුත් කළ මැනව.
අවුරුදු අතරතුරේ ඒවා දැනගන්නට සැලසුව මැනව.
උදහසේදී දයාව සිහි කළ මැනව.
3දෙවියන්වහන්සේ තේමාන් සිට ආ සේක.
ශුද්ධ තැනැන්වහන්සේ පාරාන් කන්දේ සිට ආ සේක. සෙලා#3:3 සෙලා ගීතිකා ගණනාවක හමුවන අර්ථය තිර ලෙස ම නො දන්නා වචනයකි. සංගීතමය සංකේතයක් විය හැක.
උන්වහන්සේගේ තේජශ්‍රීයෙන් ස්වර්ග වසා ගනී.
උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පොළොව පිරී යයි.
4උන්වහන්සේගේ ප්‍රභාශ්‍රීය හිරු උදාව වැන්න.
උන්වහන්සේගේ හස්තයෙන් කිරණ විහිද දිවේ.
උන්වහන්සේගේ බලය සඟවා ඇත්තේ එහි ය.
5ව්‍යසනය, උන්වහන්සේට පෙරටුවෙන් යයි.
වසංගතය උන්වහන්සේගේ පියමං අනුව ඇදේ.
6උන්වහන්සේ නැගී සිට, පොළොව සෙලවූ සේක.
උන්වහන්සේ බැල්ම හෙළා, ජාතීන් වෙවුලන්නට සැලසූ සේක.
එවිට පුරාතන කඳු විසිරිණ.
ඉපැරණි හෙල් බිඳ වැටිණ.
උන්වහන්සේගේ මාර්ග සදාතනික ය.
7කූෂාන්හි කූඩාරම් සෝ තැවුලට පත් වනු ද
මිදියන්හි වාසස්ථාන සංතාපයට පත් වනු ද මම දුටුවෙමි.
8ඔබගේ උදහස ගංගාවලට එරෙහිව ද අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ කෝපය ඇළදොළවලට එරෙහි වී ද?
ඔබ, ඔබගේ අශ්වයින් පිට නැගී ගිය කල,
ඔබගේ ගැලවීමේ අශ්ව රථවල ගිය කල
ඔබගේ ක්‍රෝධය මුහුදට එරෙහි වී ද?
9ඔබගේ දුන්න ඔබ එළියට ගත් සේක්,
ඊතල රැසකට අඬ ගැසූ සේක. සෙලා
ගංගා මගින් ඔබ පොළොව පැලූ සේක.
10කඳු ඔබ දැක වේදනාවෙන් ඇඹරිණි.
ජල ප්‍රවාහ ගලා-පිසදා ගියේ ය.
ගැඹුර, ගර්ජනා කරමින්,
එහි රළ රැළි ඉහළට එසවී ය.
11පියඹා යන ඔබගේ හීවල දීප්තියට හා
දිදුලන ඔබේ හෙල්ලයේ විදුලි එළියට
හිරුත්, සඳුත් අහසේ සිටි තැන්වල නැවතිණ.
12පොළොව හරහා බර අඩි තබමින්, ඔබ ගියේ උදහසිනි;
ඔබ ජාතීන් පාගා දැමුවේ කෝපයෙනි.
13ඔබ පිටත් ව ආයේ, ඔබගේ ජනයා මුදන පිණිස ය;
ඔබගේ අබිසෙස් ලද තැනැත්තා ගලවන පිණිස ය.
දුෂ්ටකමේ දේශයේ නායකයා තළා දැමූ ඔබ
හිස සිට දෙපතුල දක්වා ඔහු නිර්වස්ත්‍ර කළ සේක. සෙලා
14සැඟවී සිටින අසරණයින් ගිල දමන්නට
කෑදරකමින් බලා සිටියා සේ,
ඔහුගේ සටන්කාමින් මා විසුරුවන්නට කඩා පැන්න කල,
ඔබ ඔහුගේ ම හෙල්ලයෙන් ඔහුගේ හිසට ඇන්න සේක.
15මහා ජල කඳ කලත්තවමින්,
ඔබගේ අශ්වයින් මගින් ඔබ මුහුද මැඩලූ සේක.
16මට ඇසිණි. මගේ හද ගැසුණි.
ඒ හඬින් මගේ තොල් කම්පන විය.
දිරා යෑම, මගේ ඇටකටුවලට රිංගී ය.
මගේ දෙකකුල් වැනුණේ ය.
එහෙත්, අප ආක්‍රමණ කළ ජාතීන් පිටට විපත්ති දවස පැමිණෙන තෙක්,
මම ඉවසිල්ලෙන් බලා හිඳිමි.
17අත්තික්කා ගස දළු නො ලෑවත්,
මිදි වැල්වල මිදි පල නො වූවත්,
ඔලීව අස්වැන්න අසාර වූවත්,
කෙත්වත්වලින් අහර හිඟ වෙතත්,
ගාලෙහි එළු-බැටළුවන් නැතිව ගියත්,
පට්ටිවල ගවයින් නොමැති වූවත්,
18 ස්වාමින්වහන්සේ තුළ මම ප්‍රීති ප්‍රමෝද වෙමි.
මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ තුළ මම ප්‍රීති වන්නෙමි.
19පරමාධිපති ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය.
උන්වහන්සේ මගේ පාද මුවකුගේ මෙන් සලසා,
උස් තැන්හි නැග යන්නට මට සවිබල දෙන සේක.
සංගීත අධ්‍යක්ෂකට ය. මගේ තත් සහිත සංගීත භාණ්ඩ සහිත ව ය.

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요