හබක්කුක් 1

1
1දිවැසිවර හබක්කුක් දුටු දිව්‍ය ප්‍රකාශනය ය.
මැසිවිල්ල
2අහෝ ස්වාමින්වහන්ස, තව කොපමණ කල් උදවු ඉල්ලා මා හඬ ගසන්න ද?
කෝ! ඔබ අසන්නේ නැත.
“සැහැසිකම ය” කියමින්, ඔබට මම මොර ගසමි.
කෝ! ඔබ ගලවන්නේ නැත.
3අයුක්තිය දකින්නට ඔබ මට ඉඩ සලසන්නේ ඇයි?
වැරැද්දට ඔබ ඉඩ හැර ඇත්තේ මන්ද?
මා ඉදිරිපිට ඇත්තේ විනාශයත්, සැහැසිකමත් ය.
ආරවුල් පැන නැගේ. ගැටුම් අධික වෙයි.
4එබැවින් නීතිය අඩපණ ව ගොසිනි.
යුක්තිය ජය ගන්නේ ම නැත.
දුෂ්ටයා, ධර්මිෂ්ඨයා කොටු කර ගනී.
මෙසේ යුක්තිය මුළා කරනු ලැබ ඇත.
ස්වාමින්වහන්සේගේ පිළිතුර
5“ජාතීන් දෙස බලා, විමසුම් කර,
පුදුමයෙනුත් පුදුමයට පත් වනු!
මන්ද ඔබට කියූවත්
ඔබ විශ්වාස නො කරන යම් දෙයක්
ඔබේ දවස්වල මම කරන්නෙමි.
6ඔන්න! කල්දිවරුන් මම නැගුටුවන්නෙමි;
තමන්ගේ නො වන වාසස්ථාන අල්ලා ගන්නට
පොළොව මුළුල්ලේ ගමනේ යෙදෙන ඔවුන්
දරුණු වේගවත් ජනතාවකි.
7ඔවුහු භයංකර, බිහිසුණු ජනතාවකි.
ඔවුන්ගේ නීතිය ඔවුන්ගේ වාසියට ය;
ඔවුන් තමන්ට ම ගෞරව පවරා ගනිති.
8ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා වේගවත් ය.
ගොම්මන් වේලේ වෘකයින්ට වඩා රෞද්‍ර ය;
ඔවුන්ගේ අශ්වාරෝහක හමුදාව පැන එන්නේ වේගයෙනි.
ඔවුන්ගේ අසරුවන් එන්නේ දුර ඈත සිට ය.
ඔවුන් පියඹායන්නේ, ගිල දමන්නට එක් සැණෙක පහළට ඇදී එන ගිජු ලිහිණියකු පරිද්දෙනි.
9ඔවුන් සැවොම පැමිණෙන්නේ සැහැසිකමට ය.
ඔවුන්ගේ සමූහයා කාන්තාර සුළඟක් සේ පෙරට පැන අවුත්#1:9 හෙබ්‍රෙව් බසින් මෙහි අරුත පැහැදිලි නැත.,
වැලි මෙන් වහලුන් එක් රැස් කර ගනිති.
10ඔවුහු රජවරුන්ට පරිහාස කරති;
පාලකයින්ට සමච්චල් කරති;
හැම බළකොටුවකට ම සරදම් කොට,
වැටලුම් ගොඩැලි ඉදි කොට, ඒවා අල්ලා ගනිති.
11ඔවුන්ගේ දෙවියෝ ඔවුන්ගේ ශක්තිය ය,
සාපරාධී මිනිසුන් වන ඔවුහු, සුළඟක් මෙන් හමාගෙන ගොස්, පහ වී යති.”
දෙවැනි මැසිවිල්ල
12අහෝ ස්වාමින්වහන්ස, ඔබ සදාතනයේ පටන් නො වන්නේ ද?
මගේ දෙවියන්වහන්ස, මගේ ශුද්ධ තැනැන්වහන්ස, අප මැරෙන්නේ නැත;
අහෝ ස්වාමින්වහන්ස, විනිශ්චය ක්‍රියාත්මක කිරීමට ඔබ ඔවුන් පත් කළ සේක.
අහෝ පර්වතයාණෙනි, දඬුවම් පමුණුවන්නා කොට ඔබ ඔවුන් පත් කළ සේක.
13දුෂ්ටකම දෙස බලන්නට බැරි තරමට පවිත්‍ර ඇස් ඇති ඔබවහන්සේ,
වැරැද්ද ඉවසා දරා සිටින්නට බැරි ඔබවහන්සේ,
ද්‍රෝහිකම ඉවසා බලා සිටින්නේ කොහොම ද?
දුෂ්ටයා ඔහුට වඩා ධර්මිෂ්ඨ තැනැත්තා ගිල දමන කල,
ඔබ නිහඬ ව බලා සිටින්නේ මන්ද?
14ඔබවහන්සේ මිනිසුන් මුහුදේ මසුන් සේ වන්නට,
පාලකයෙක් නැති මුහුදු සත්වයින් සේ වන්නට සැලසූ සේක.
15දුෂ්ටයා බිලිකටුවෙන් ඔවුන් සැම බා ගනී.
ඔහු තම දැලෙන් ඔවුන් අල්ලා ගනී.
ඔහු තම මාදැලෙන් ඔවුන් එකතු කර ගනී;
මෙසේ ඔහු සොම්නසින් ප්‍රමුදිත වෙයි.
16එබැවින් ඔහු තම දැලට පූජා පුද කරයි.
තම මාදැලට සුවඳ දුම් දවයි.
මන්ද ඔහු සුඛ විහරණයෙන් ජීවත් වන්නේත්,
රසමසවුළු භුක්ති විඳින්නේත් ඒවායින් වන බැවිනි.
17දයා විරහිත ව ජාතීන් විනාශ කරමින්,
ඔහු තම දැල හිස් කරමින් සිටින්නට යන්නේ ද?

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요