ආමෝස් 9

9
කොහේ සිටිය ද ගැලවිය නො හැක
1ස්වාමින්වහන්සේ පූජාසනය පසෙක සිටගෙන සිටිනු මම දුටිමි; උන්වහන්සේ මෙසේ පැවසූ සේක:
“එළිපත්ත දෙදරුම් කන ලෙස,
මාලිගා කුලුනුවලට පහර දෙන්න;
එසේ, ඒවා සියලු මිනිසුන්ගේ හිස් පිට හෙළන්න.
එයින් ඉතිරිවන්නවුන් මම කඩුවෙන් මරා දමන්නෙමි.
ඔවුන්ගෙන් කිසිවකු ඉවත පලායන්නේ නැත;
ඔවුන්ගෙන් එකකුවත් බේරී යන්නේ නැත.
2ඔවුන් ෂෙයෝලෙහි#9:2 පාතාලයෙහි හෙවත් මළවුන්ගේ ස්ථානයෙහි ගැඹුරට ම හාරා ගියත්,
මගේ හස්තය එතැනින් ඔවුන් අල්ලා ගනු ඇත.
ඔවුන් ස්වර්ග දක්වා ම නැග ගියත්,
එතැනින් මම ඔවුන් පහළට ගෙනෙන්නෙමි.
3ඔවුන් කර්මෙල් කඳු මුදුනේ සැඟවී සිටියත්,
මම ඔවුන් සොයා, ඔවුන් අල්ලා ගන්නෙමි.
ඔවුන් මුහුදු පත්ලට බැස, මවෙතින් සැඟවී ගත්තත්,
එහිදී මම සර්පයාට අණ කරන්නෙමි. ඌ ඔවුන් සපාකනු ඇත.
4ඔවුන්ගේ සතුරන් වහල්කමට ඔවුන් පන්නා දමනු ලැබුවත්,
මම කඩුවට නියෝග කරන්නෙමි. එය ඔවුන් මරා දමනු ඇත.
“මම ඔවුන් දෙස ඇස ගසා ගෙන සිටිමි.
එය නපුරට මිස හොඳකට නො වේ.”
5ස්වාමින් වන සේනාංකවල ස්වාමින්වහන්සේ
පොළොව ස්පර්ශ කළ විට එය දියවී යයි.
එහි වෙසෙන සියල්ලෝ වැලපෙන්නෝ ය.
එහි ඇති සියල්ල නයිල් ජලය සේ ඉහළ නැග,
ඊජිප්තු ගංගාව සේ ගිලා බසිනු ඇත.
6ස්වර්ගවල ස්වකීය උඩු මහල් තල ගොඩ නගා,
මිහිතලය පිට එහි අත්තිවාරම් ලන;
මුහුදු ජලයට හඬ ගසා,
පොළෝ තලේ පිට එම දිය වගුරු වන,
තැනැන්වහන්සේගේ නාමය ස්වාමින්වහන්සේ ය.
7“මට නුඹලා කූෂ්වරුන් මෙන් නො වේ ද
එම්බා ඉශ්‍රායෙල් ජනයිනි?”
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක:
“මම ඉශ්‍රායෙල් ඊජිප්තුවේ සිට ද
පිලිස්තිවරුන් කෆ්තොර්හි සිට ද
අරාම්වරුන් කීර්හි සිට ද මම ගෙන නො ආවෙම් ද?
8“ඔන්න! පරමාධිපති ස්වාමින්වහන්සේ
පාපීන්ගේ රාජ්‍යය දෙස බලා සිටින සේක.
මේ පොළෝ තලේ මතින්
මම එය වනසා දමන්නෙමි.
එහෙත්, යාකොබ් වංශය
මම සහමුලින් විනාශ නො කරන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
9“මන්ද, ඔන්න මම අණ කරන්නෙමි.
සියලු ජාතීන් අතරෙහි
මම ඉශ්‍රායෙල් වංශය සොලවන්නෙමි.
එසේ කරන්නේ ගල් පෙරනයකින් මෙනි.
එක ගල් කැටයකුදු බිම නො හැලේ.
10‘විපත්තිය අප හමුවට එන්නේවත්,
අප යට කර ගන්නේවත් නැතැ’ යි කියන
මගේ ජනයාගේ සියලු පව්කරුවන්
කඩුවෙන් මියෙනු ඇත.
ඉශ්‍රායෙල් නැවත පිහිටුවීම
11“ඒ දවසේ
“මම දාවිත්ගේ ගරා වැටුණු කූඩාරම යළි පිහිටු වන්නෙමි.
එහි බිඳුණු තැන් පිළිසකර කර,
එහි නටබුන් පුනරුත්ථාන කරන්නෙමි.
එය මුලින් තිබූ පරිදි ගොඩ නගන්නෙමි.
12එසේ කරන්නේ, ඔවුන් ඒදොම්වරුන්ගේ ඉතිරි ස්වල්ප දෙනා ද
මගේ නාමය දරන සියලු ජාතීන් ද අත්කර ගනු පිණිස යැ” යි
මෙකී දෑ කරන ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
13“මෙන්න එකී දවස් පැමිණේ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“අස්වනු නෙළා නිම කරන්නට පෙර ඊළඟ කන්නයේ සී සෑම ඇරඹේ;
මිදි පලදාව මිරිකා නිම වන්නට පෙර ඊළඟ වාරයට බීජ ඉසීම ඇරඹේ;
කඳුවලින් අලුත් මිදි යුෂ වෑස්සේ;
මුළු හෙල් අතරින් ඒවා ගලා යේ.
14මගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ භාග්‍යය මම යළි පිහිටු වන්නෙමි.
“ගරා වැටුණු තමන්ගේ පුර නගර යළි ගොඩ නගා, ඔවුන් ඒවායේ පදිංචි වනු ඇත.
ඔවුන් මිදි වතු වවා, ඒවායින් මිදි යුෂ පානය කරනු ඇත.
ඔවුන් කෙත් වතු වවා, ඒවායේ පල අනුභව කරනු ඇත.
15මම ඔවුන්ගේ දේශයේ ඔවුන් පැළ කරන්නෙමි.
මා ඔවුන්ට දුන් දේශයෙන් යළි කිසි කලෙක
ඔවුන් උදුරා දැමිය නො හැකැ” යි
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන සේක.

선택된 구절:

ආමෝස් 9: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요