ඔබදියා 1

1
ඔබදියාගේ දර්ශනය
1ඔබදියාගේ දර්ශනය ය;
පරමාධිපති ස්වාමින්වහන්සේ ඒදොම් සම්බන්ධ ව මෙසේ පවසන සේක.
ස්වාමින්වහන්සේ වෙතින් පණිවුඩයක් අපි අසා ඇත්තෙමු:
“නැගිටින්න! අපි ඇයට එරෙහිව සටනට යමු” යි
පවසන දූතයකු ජාතීන් වෙත යවනු ලැබී ය.
2මෙන්න, මම ජාතීන් අතරේ ඔබ කුඩා කරන්නෙමි.
ඔබ සහමුලින් ම අවමානයට පත් කෙරෙනු ඇත.
3ඔබේ හදේ උඩඟුකම ඔබ මුළාකොට ඇත;
පර්වත විවරවල ජීවත් වන
උස් තැන් තම වාස භවන කර ගන්න ඔබ,
“මා බිමට ගෙනෙන්නේ කවුරු දැ?” යි
ඔබේ හද තුළ කීයෙහි ය.
4“ඔබ රාජාලියා සේ ඉහළ නැගුනත්,
තාරකා අතරේ ඔබේ කැදැල්ල තැනුවත්,
එතැනින් මම ඔබ පහළට ගෙනෙන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
5“සොරු ඔබ වෙත ආවෝ නම්!
රාත්‍රියේ මංකොල්ලකරුවෝ ආවෝ නම්!
අහෝ ඔබට සිදු වන්නට යන නාස්තියක මහත!
ඔවුන් ඔබෙන් සොරා ගන්නේ, තමනට අවැසි තරම් පමණක් නො වේ ද?
මිදි පල නෙළන්නෝ ඔබ වෙත පැමිණියෝ නම්,
ඔවුහු මිදි ස්වල්පයක් හෝ ඉතිරි නො කරත් ද?
6අහෝ ඒසව් කොල්ලකනු ලැබ,
ඔහුගේ ධන සම්පත් සොයා ගන්නා ලද හැටි!
7ඔබේ සියලු මිතුරු සේනාවෝ, දේශ සීමාව තෙක් පන්නා දැමිණ.
ඔබ සමඟ සාමයෙන් සිටියෝ ඔබ රැවටූහ. ඔවුන් ඔබට එරෙහිව ජය පැන් බොති.
ඔබේ ම රොටි බුදින්නෝ ඔබට උගුලක් අටවති.
එහෙත් ඔබට දැනුමක් නැත.
8ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක:
‘ඒ දවසේදී මම ඒදොම්හි ප්‍රඥාවතුන් ද
ඒසව්ගේ කඳුවලින් අවබෝධය ද වනසා නො දමන්නෙම් ද?
9අහෝ තේමාන්, ඔබේ රණශූරයෝ ත්‍රාසයට පත් කරනු ලබති;
ඒසව්ගේ කඳුවල වෙසෙන සියල්ලෝ
මැරුම් කනු ලබති.
10ඔබේ සහෝදර යාකොබ්ට එරෙහිව කළ බලාත්කාරය නිසා,
ලජ්ජාව ඔබ වසා ගනු ඇත;
සදහට ම ඔබ කපා දැමේ.
11ඔබ පසෙකට වී සිටි එදවසේ,
විදෙස්සන් ඔහුගේ සම්පත් රැගෙන ගිය දවසේ
විජාතිකයින් ඔහුගේ දොරටුවලින් ඇතුල් ව,
යෙරුසලම උදෙසා පස ඇට දැමූ දවසේ,
ඔබත් සිටියේ ඔවුන්ගෙන් එකකු මෙනි.
12ඔබ, ඔබේ සහෝදරයාගේ විපත්ති දවසේ,
ඔබ උදාරම් නො විය යුතු ය.
ඔවුන්ගේ විපත්තියේ දවසේ
යූදා ජනයා ගැන ප්‍රීති නො වන්න.
කැළඹීමේ දවසේ,
පුරසාරම් නො දොඩන්න.
13මගේ ජනයාගේ ව්‍යසන දවසේ
ඔවුන්ගේ දොරටු තුළින් ඇතුළු නො වන්න.
ඔවුන්ගේ ව්‍යසන දවසේ
ඔවුන්ගේ විපත් මැද ඔබ උදාරම් නො වන්න.
ඔවුන්ගේ ව්‍යසන දවසේ
ඔවුන්ගේ සම්පත් කොල්ලකෑම නො කළ යුතු ය.
14ඔවුන්ගේ පලා යන්නන් ගසා හෙළන්නට
මංසන්ධි අසල ඔබ රැක නො සිටින්න.
ඔවුන්ගෙන් ජීවත් ව ඉතිරි ව සිටින්නන්
ඔවුන්ගේ කරදර දවසේදී අල්ලා නො දෙන්න;
15“ ‘මන්ද සියලු ජාතීන්ට
ස්වාමින්වහන්සේගේ දවස ළං ළං ව පැමිණේ.
ඔබ කළ සේ ම ඔබටත් කරනු ලැබේ.
ඔබේ ක්‍රියා ඔබේ ම හිස පිටට ම ආපසු එනු ඇත.
16මගේ ශුද්ධ කන්දේදී ඔබ බී දැමූ ලෙස
සියලු ජාතීන් ද නො නැවතී බොනු ඇත.
ඔවුන් එය බී, ගිල දමා
කිසි දිනක නො සිටියවුන් මෙන් වනු ඇත.
17එහෙත් ගැලවී පලා යන්නන් සියොන් කඳු මත සිටිනු ඇත.
එය පාරිශුද්ධ තැනක් වනු ඇත.
යාකොබ් වංශය ඔවුන්ගේ සම්පත් හිමි කර ගනු ඇත.
18යාකොබ් වංශය ගින්නක් ද
යෝසෙප් වංශය ගිනි දැල්ලක් ද වනු ඇත.
ඒසව් වංශය ඉපනැල්ලක් බඳු වී
ඔවුන් විසින් ගිනි ලා දවා දමනු ලබන්නේ ය.
දිවි ගලවා ගන්නා කිසිවකුත්
ඒසව් වංශයේ නො වනු ඇතැ’ ” යි
ස්වාමින්වහන්සේ පවසා ඇත.
19නෙගෙබ්හි#1:19 නෙගෙබ්හි එනම් දකුණු දිශාව ජනයා
ඒසව්ගේ කඳු ද
කඳු පාමුල බටහිර කඳු බෑවුම්හි#1:19 බටහිර කඳු බෑවුම්හි එනම් ෂෙෆේලාහි ජනයා
පිලිස්තීන්ගේ දේශය ද හිමි කර ගනු ඇත.
ඔවුන් එප්‍රායිම්හි හා සමාරියෙහි ඉඩම් හිමි කර ගනු ඇත.
බෙන්යමින් ජනයා ගිලියාද් දේශය, හිමි කර ගනු ඇත.
20කානාන්හි සිටින ඉශ්‍රායෙල් පිටුවහලුන් සමූහයා
සාරෙෆත් දක්වා දේශය හිමි කර ගනු ඇත.
යෙරුසලමෙන් පිටුවහල් ව සෙෆාරද්හි සිටින්නන්
නෙගෙබ් පුරවර හිමි කර ගනු ඇත.
21ඒසව්ගේ කඳු ආණ්ඩු කරන්නට
මිදුම්කරුවන් සියොන් කඳු මතට නැගෙනු ඇත.
රාජ්‍යය ද ස්වාමින්වහන්සේගේ වනු ඇත.

선택된 구절:

ඔබදියා 1: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요