ආමෝස් 7

7
පළඟැටි, ගින්දර හා ලඹය
1පරමාධිපති ස්වාමින්වහන්සේ මට පෙන්නුම් කළේ මෙයයි: කන්නයේ ගොයම වැඩී එන කල, උන්වහන්සේ බුරුතු-බුරුතු පළඟැටියන් හටගන්වමින් සිටි සේක. මෙන්න! ඒ, රජුගේ අස්වනු කොටස නෙළන ලද පසු වැඩී ආ ගොයමයි. 2දේශයේ වූ තෘණ සියල්ල උන් කා දැමූ පසු, මම මෙසේ කීවෙමි. “පරමාධිපති ස්වාමින්වහන්ස, සමාවන්න! යාකොබ් නැගිට සිටින්නේ කොහොම ද? ඔහු ඉතා කුඩා ය!”
3එබැවින් ස්වාමින්වහන්සේ මේ ගැන අනුකම්පා කළ සේක:
“එය සිදු නො වන්නේ යැ” යි ස්වාමින්වහන්සේ පැවසූ සේක.
4පරමාධිපති ස්වාමින්වහන්සේ මට පෙන්නුම් කළේ මෙයයි: මෙන්න! පරමාධිපති ස්වාමින්වහන්සේ විනිශ්චය පිණිස ගින්නට හඬ ගසමින් සිටි සේක. එයින් මහ ගැඹුර ගිලගත්තේ ය. ගොඩ බිම දා ගියේ ය. 5එවිට මම, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, නවත්වනු මැනවි. යාකොබ් නැගිට සිටින්නේ කොහොම ද? ඔහු ඉතා කුඩා යැ” යි කීවෙමි.
6එබැවින් ස්වාමින්වහන්සේ මේ ගැන අනුකම්පා කළ සේක:
“එය සිදු නො වන්නේ යැ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ පැවසූ සේක.
7උන්වහන්සේ මට මෙසේ පෙන්නුම් කළ සේක: මෙන්න! ලඹයට අනුකූලව සෑදූ තාප්පයක් අද්දර, ස්වාමින්වහන්සේ ලඹයක් ද අතැතිව සිටගෙන හුන් සේක. 8ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔබට පෙනෙන්නේ කුමක් ද ආමෝස්?” යැයි ඇසූ සේක.
“ලඹයකැ” යි මම පිළිතුරු දුනිමි.
එවිට ස්වාමින් කතා කරමින්, “මෙන්න! මම මගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන් අතරේ ලඹය අල්ලා බලන්නෙමි. තවදුරටත් මම ඔවුන්ට කමා නො කරන්නෙමි.
9“ඊසාක්ගේ උස් තැන් පුදසුන් පාළුවට යැවේ;
ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධස්ථාන නටබුන් කෙරේ;
යෙරොබොවම්ගේ වංශයට එරෙහිව, මම මගේ අසිපත අරා නැගී සිටිමි” යි පැවසූ සේක.
ආමෝස් හා අමසියා
10එකල, බෙතෙල්හි පූජක අමසියා, ඉශ්‍රායෙල් රජු වන යෙරොබොවම් වෙත පණිවුඩයක් යවමින්, “ආමෝස්, ඔබට එරෙහිව මේ ඉශ්‍රායෙල් වංශය අතරේ කුමන්ත්‍රණයක් දියත් කරයි. ඔහුගේ සියලු වචන දේශයට දරන්නට බැරි ය. 11ආමෝස් කියා ඇත්තේ:
“ ‘යෙරොබොවම් කඩු පහරින් මියෙනු ඇත;
ඉශ්‍රායෙල් තමන්ගේ මවු බිමෙන් පිටතට,
වහල්කමට යා යුතු ව ඇත යනුවෙනි’ යි” පැවසී ය.
12එවිට, ආමෝස් ඇමතූ අමසියා, “ඒයි පේනකාරයා, මෙහෙන් පලා යනු. යූදා දේශයට ආපසු ගොස්, එහිදී රොටි කනු. එහිදී ම නුඹේ දිවැසි වැකි පවසනු. 13එහෙත් මේ බෙතෙල්හි කිසි දින දිවැසි වැකි නො පවසනු. මන්ද මෙය රජ්ජුරුවන්ගේ ශුද්ධස්ථානයයි; රාජධානියේ දේව මන්දිරය යැ” යි කීවේ ය.
14එවිට, ආමෝස්, අමසියාට පිළිතුරු දෙමින්, “මම දිවැසිවරයෙක් හෝ දිවැසිවරයකුගේ පුතෙක් හෝ නො වෙමි. මම එඬේරෙක්මි; අත්තික්කා ගස් රැකබලාගන්නෙක්මි. 15එහෙත් ස්වාමින්වහන්සේ එළු බැටළු රැක්මෙන් පිටතට මා රැගෙන, ‘යන්න! මගේ ජනතාව වන ඉශ්‍රායෙල්වරුනට දිවැසි වැකි පවසන්නැ’ යි ස්වාමින්වහන්සේ ම කී සේක. 16එබැවින් දැන් ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න. ඔබ මට කියන්නේ,
“ ‘ඉශ්‍රායෙලයට එරෙහිව දිවැසි වැකි නො කියනු,
ඊසාක් වංශයට එරෙහිව දේශනා කිරීම නවතනු කියා ය.’
17“එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ ‘නුඹේ බිරිඳ මෙපුර තුළ වෙසඟනක වනු ඇත;
නුඹේ පුතුන් හා නුඹේ දූවරුන් කඩුවට බිලි වනු ඇත;
නුඹේ දේශයේ ඉඩම් මැන, බෙදා දෙනු ලැබේ.
නුඹත්, අපවිත්‍ර රටකදී මියෙන්නේ ය;
ඉශ්‍රායෙල් නියතයෙන් ම තමන්ගේ රටෙන් පිටතට,
වහල්කමට යනු ඇතැ’ යි” පැවසී ය.

선택된 구절:

ආමෝස් 7: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요